අටලෝ දහමට මුහුණ දී නොසැලී ජිවත් වන්න

 අටලෝ දහමට මුහුණ දී නොසැලී ජිවත් වන්න





මෙලොව ජීවත්වන අප සියලු දෙනාටම අට ලෝ දහමට මුහුණ දීමට සිදු වේ. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ අටලෝ දහම පිළිබඳ මෙසේ දැක්වෙයි.


ලාහෝ අලාහෝ අයසෝ, යසෝ ච 

නින්දා, පසංසා ච සුඛං ච දුක්ඛං 

ඒතේ අනිච්චා මනුජේසු ධම්මා 

අසස්සතා විපරිනාම ධර්මාති


ඒ අනුව ලෝක ධර්ම අටකි.


1. ලාභ 

2. අලාභ

3. යස

4. අයස

5. නින්දා

6. ප්‍රශංසා

7. සැප

8 දුක්


දුප්පත් පොහොසත්, උගත් නුගත්, උසස් පහත්, බාල මහලු සෑම අයෙකුට ම මෙම ධර්මතාවන්ට මුහුණ දීමට සිදුවේ.


ලාභ අලාභ


ලාභය යනු ලැබීමයි. අලාභය නම් නොලැබීම හෝ අහිමි වීමයි. මිළ මුදල්, යාන වාහන, නිවාස, දරු සම්පත්, තැගි බෝග ආදිය ලැබේ. තවත් විටෙක ඒවා අහිමි වී යයි. එය ලෝක ස්වභාවයයි. බුදුරදුන්ට වේරංජා නුවර වස් විසූ කාලයේ දානය ලැබුණේ නැත. තවත් අවස්ථාවක සොසොල් රජු අසදෘස මහා දානයක් පිරිනැමීය. එමෙන්ම වෙනත් රජවරු සිටුවරු මහ දන් පූජා කළහ. නොලැබුණු විට කම්පා නොවූ උන් වහසේ ලැබෙන විට උද්දාමයට පත් නොවූහ. පෙර පිං මහිමය නිසා සීවලි තෙරුන්ට නිරතුරුව මහ දන් ලැබිණි. එහෙත් ලෝසක තෙරුන්ට කුස පිරෙන්නට ආහාරයක් ලබා ගැනීම අපහසු විය.

මහා ධනවත් නැණවත් සිටුවරයෙකු වූ අනේපිඬු සිටුවරයා පසු කලෙකදී දුප්පතෙකු විය. මහා සැප සම්පතින් වැඹුණු කොසොල් රජුට අසූ වියෙහි දී මිය යාමට සිදු වූයේ පාළු අම්බලමකදීය.


යස අයස


යස නමින් හඳුන්වන්නේ පරිවාර සම්පත්ති යයි. එය කීර්තිය නමින්ද හැඳින්වෙයි. පරිවාර සම්පත්තිය නැතිකම අයස යි. අප කීර්තිය යනු ද එයයි. මොහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. සිල්වතෙකි. ගුණවතෙකි. පරිත්‍යාගශීලියෙකි කියා සමාජයේ පුද්ගලයෝ උසස් පුද්ගලයන්ට ගරු සරු දක්වති. ඔහු වටා පිරිස් එකතු වෙති. තවත් විටෙක මොහු පහත් පුද්ගලයෙකි. දුසිල්වතෙකි. දුර්ජනයෙකි. මසුරෙකි. ලෝභයෙකි, ගුණමකුවෙකි කියා සමහරු අපකීර්තියට පත් කරති. මෙම තත්ත්වයන් දෙකටම මුහුණ දීමට අපට සිදුවේ. 

සේල බමුණා වැනි අන්‍ය ආගමිකයෝ බුදු ගුණ වර්ණනා කරමින් කීර්ති ඝෝෂා පැවැත්වූහ. බුදුරදුන්ගේ කීර්තිය මිනිස් ලොව පමණක් නොව දිව්‍ය හා බ්‍රහ්ම ලෝකවල ද පැතිර ගියේ ය. දහස් සංඛ්‍යාත පිරිස් එම කාල වලදී බුදුරදුන් වටා එකතු වූහ. ඇතැම් අවස්ථාවල අප සමඟ සිටින පිරිස් විවිධ හේතු නිසා අප හැර යති. ඔවුහු දොස් කියති. එවිට අපකීර්තියට පත් වීම සිදු වේ.


නින්දා - ප්‍රශංසා


නින්දා යනු ගැරහුම් ලැබීමයි. ප්‍රශසා යනු ගුණ කීමයි. අප අතින් යම් වරදක් වූ විට ඇතැම්හු බැණ වදිති. යහපත් දේ කරන විට ප්‍රශංසා කරති. ඇතැම්හු යහපත් දේ කරන විට ද බැණ වදිති. ඒ ඊර්ෂ්‍යා සිතින් යුතුවයි. ඒවා ඉවසීමට අපි පුරුදු වෙමු.


සම්බුදුරදුන්ට ද විවිධ අය නින්දා කළහ. චිංචා මාණවිකාව, මාගන්ධියා බැමිණිය, සුන්දරි පරිව්‍රාජිකාව වැනි කාන්තාවන් නිසා එසේ නින්දා ලැබුණි. ඇතැම් බමුණෝ මුඩු මහණ, වසලය යනුවෙන් ප්‍රකාශ කළහ. සුප්පබුද්ධ රජු ද නොයෙක් අවස්ථාවල හිරිහැර කළේය. රණබිමේදී සතර දිගින් අවුත් ඇඟට වදින ඊතල පහරවල් ඉවසන හස්ති රාජයකු සේ බුදුරජාණන් වහන්සේ ඒ සියලු නින්දා අපහාස ඉවසූ සේක.


රජවරු සිටුවරු දෙව් බඹුන් ඇතුළු බොහෝ පිරිස් උන්වහන්සේට ප්‍රශංසා ද කළහ. සේල බමුණා බුදුරදුන් ඉදිරියේ ගුණ ගායනා කළේය. එහෙත් ඒ කිසිවකින් උද්දාමයට පත් නොවූහ.


සැප - දුක්


සැප යනු ශරීරයට හා මනසට දනෙන සුවයයි. දුක යනුවෙන් හැඳින්වෙන්නේ ශරීරයට හා මනසට ඇතිවන දුක් වේදනාවයි. මෙලොව ජීවත්වන සෑම අයෙකුටම විටෙක සැපයක් ද තවත් විටෙක දුකක් ද ඇතිවෙයි.


දෙව්දත් තෙරුන් ගිජුකුළු පව්ව මුදුනේ සිට පෙරළු ගලෙන් කැබැල්ලක් පතුලේ වැදීම නිසා බුදුරදුන්ට වෙදකම් කිරීමට සිදුවිය. පිරිනිවන් පෑමට ආසන්න කාලයේදී බුදුරදුන්ට ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳීම නිසා පීඩාවට පත්විය. උන් වහන්සේ ඒ සියල්ල ඉවසා දරා ගත්හ.


බුදුරජාණන් වහන්සේට සුව පහසු ආරාම, රසවත් ප්‍රණීත ආහාර පාන නොඅඩුව ලැබුණි. එයින් කිසි විටෙකත් උද්දාමයට පත් නොවුහ. අෂ්ට ලෝක ධර්මය පිළිබඳ කම්පා නොවී ක්‍රියා කිරීමේ බුදු ගුණය තාදී ගුණය නමින් හැඳින්වේ. අප හමුවට එන කරදර අභියෝ- ජය ගැනීමේදී ඉවසීමෙන් හා නොසැලෙන මනසින් ක්‍රියා කළ යුතු බව බුදු සිරිත තුළින් පැහැදිලි වේ. බුද්ධ දේශනාව අනුව ඉහත අෂ්ට ලෝක ධර්මයට අනිත්‍යය. එය වටහාගෙන ක්‍රියා කිරීමෙන් එදිනෙදා කටයුතු සාර්ථක කර ගැනීමටත් අභියෝගවලට මුහුණ දීමටක් හැකියාව ලැබේ.


ලෝසයේ සදාතනික දහමක් වන අටලෝ දහමට මුහුණ දීමට අප සැම දෙනාටම සිදුවෙයි. කලෙකදී කිර්ති ප්‍රශංසා ලබන්නා තවත් කලෙකදී නින්දා අපහාස ලබයි. ගොවියා තම හේන් කුඹුරු සරු වූ විට සතුටු වෙයි. නිසරු වූ විට දුක්වෙයි. වෙළෙන්දා ලාභ ලැබුණු විට සතුටු වෙයි. අලාභ වූ විට දුකට පත් වෙයි. තම අපේක්ෂා ඉටුවන විට සතුටුවීම හා අපේක්ෂා ඉටු නොවු විට දුක්වීම මනුෂ්‍ය ස්වභාවයයි. එමෙන්ම අනුන් වෙනුවෙන් සේවය කරන පුද්ගලයන්, සමාජ සේවකයන් වැනි අයට ද නින්දා අපහාස විඳීමට සිදුවන අවස්ථා බහුලය. ඒවා ඉවසා දරා ගැනීම තුළින් ඔවුන්ට ඉදිරි කටයුතු සාර්ථක කරගත හැකිය.


රූපවාහිනිය. පරිගණකය, ජංගම දුරකථනය, අන්තර් ජාලය. මුහුණු පොත. පුවත්පත් ආදි සන්නිවේදන මාධ්‍ය තුළ අනුන් මානසික වශයෙන් පීඩාවට ලක් කෙරෙන ඡායාරූප, වීඩියෝ හා වාර්තා පළවෙයි. ඇතැමුන් ඒවා සිදු කරන්නේ විනෝදයට ය. නැතහොත් ඊර්ෂ්‍යාවෙන් යුතුව අනුන් අපහසුතාවට පත්කරනු සඳහා ය. ඇතැමුන් අනුන්ට බොරු පොරොන්දු දී මුලා කොට විවිධ දේ ලබා ගන්නා අවස්ථා ද ඇත. එවැනි අවස්ථාවලදී නොසැලී සිටීමටත් බුද්ධිමත්ව එම අවස්ථාවන්ට මුහුණ දීමටත් හැකිනම් අපගේ දියුණුවට බාධා ඇති නොවේ.


කොතැනක සිට හෝ අප කරන ක්‍රියාව නිවැරදි නම් ඉන් අනුත් සතුටු වත් නම් කීර්ති ප්‍රශංසා හිමිවෙයි. අප කරන ක්‍රියාව තවත් කෙනෙකුට නුරුස්සයි නම් නින්දා අපහාස විඳීමට සිදුවෙයි. නිත්‍ය වශයෙන් මෙලොව ප්‍රශංසා ලැබීම හෝ නින්දා ලැබීම සිදු නොවේ. කැරකෙන ගැල් රෝද සේ මෙලොව ජිවත් වන පුද්ගලයාට වරින් වර අෂ්ට ලෝක ධර්මයට මුහුණ පෑමට සිදු වෙයි. මංගල සූත්‍රයේ ඇති. ඵුට්ඨස්ස ලෝක ධර්මෙහි චිත්තං යස්ස න කම්පති යන බුද්ධ දේශනාව අනුව අටලෝ දහමින් සිත කම්පා නොකර ගැනීම මංගල කරුණකි. ඕනෑම පුද්ගලයෙකුට යහපත් ක්‍රියා කිරීමෙන් කීර්ති ප්‍රශංසා ලැබිය හැකිය. එහෙත් ඉන් උද්දාමයට පත්ව ක්‍රියා කිරීම සුදුසු නොවේ. එමෙන්ම නින්දා අපහාස දඬුවම් ලැබීමේදී ශෝක වීම හා කම්පාවීම ද සුදුසු නැත. ඒ සැම විටම අකම්පිතව ඉවසීමෙන් ක්‍රියා කිරීමෙන් ගැටලු විසඳා ගැනීමටත් අභියෝග ජය ගැනීමටත් හැකියාව ලැබේ.


Post a Comment

أحدث أقدم
LightBlog

Top Post Ad

LightBlog