ලජ්ජාව බය හැදිනගෙන ජිවත් වන්න
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවත දෙව්රම් වෙහෙර වැඩවසද්දී බොහෝ බඩු භාණ්ඩ ඇති භික්ෂු නමක් නිසා මේ ජාතකය වදාළ සේක.
සැවැත් නුවර එක් මිනිසෙක් බිරිය මළ පසු සසුනෙහි පැවිදි විය. පැවිද්දට පළමුවෙන්ම ගිනිහල් ගෙයක්, ගබඩාවක් සහිත පන්සලක් තනවා ගිතෙල් තල තෙල් ආදිය පුරවාගෙනම මහණ විය. එතැන් සිට කොල්ලන් කෙල්ලන් ගෙන්වා කැමති පරිදි අහර පිසවා ගෙන අනුභව කරයි. රැයට දවාලට වෙන වෙන අඳනා සිවුරු පෙරවයි. දිනක් ආවාසයෙහි වූ සිවුරු ඇතිරිලි ආදිය බැහැර කොට අව්වේ ලා වේලමින් හිටියේය. එවේලෙහි සේනාසන චාරිකාවේ යෙදුණු පිටිසරබද භික්ෂූන් වහන්සේලා පිරිසක් ඒ බොහෝ වූ බඩු දැක කාගේදැයි විමසූහ. ඒ භික්ෂු නම් මාගේ යයි කීයෙන්
අල්පේච්ඡතාව ඇති බුදුසසුනෙහි මහණව මෙතරම් පිරිකර කෙසේදැයි කියා උන්වහන්සේ බුදුන් සමීපයට කැඳවා ගෙනගොස් ඒ බව සැලකළහ.
භාග්‍යවතුන් වහන්සේ තතුපවත් විමසා භික්ෂු නම්, කුමක් නිසා බහුභාණ්ඩික වන්නෙහි ද? මා විසින් අල්පේච්ඡතාවෙහි ගුණ නොඑක් ආකාරයෙන් දේශනා කොට තිබෙනවා නොවේදැයි වදාළ සේක. එයින් කිපුණු භික්ෂුනම එසේ නම් සිටිය යුත්තේ මෙසේද කියා සිවුර ගලවා ඉවතලා අදනය පිටින් භය ලජ්ජා නැතිව පිරිස මැද සිටියේය. එවිට සර්වඥයන් වහන්සේ " මහණ ඔබ පෙර දියරකුසු ව උපන් කල්හිත් බිය ලජ්ජා සොයමින් දොළොස් අවුරුද්දක් විසුයෙහි නොවේද ? දැන් මහණව සිටත් මෙසේ පිරිස් මැද භය ලජ්ජා හැර කුමට සිටිනෙහි දැයි විචාල සේක.
එවිටම භික්ෂූ නම් බිය ලජ්ජා උපදවා ඉවත දැමූ සිවුර පොරවා ගෙන වැඳ පසෙක හුන්නේය. භික්‍ෂූන් වහන්සේලාගේ අයැදීමෙන් තථාගතයක් වහන්සේ අතීත කථාව මෙසේ ප්‍රකාශ කළ සේක.
බෝසතාණෝ පෙර බරණැස බ්‍රහ්මදත්ත නම් රජුට දාව ඉපිද මහිංසාස නමින් ප්‍රසිද්ධ වූහ. දෙවැනි පුත් චන්ද්‍ර කුමාර නම් විය. ඔවුන් කුඩා කල්හිම මව් බිසොව කළුරිය කළාය. රජ දෙවැනි බිසොවක විවාහ කොටි ගත්තේය. ඇයගෙන් උපන් කුමරා සූර්යකුමාර නම් විය. දෙවැනි බී සොවගෙන් බෙහෙවින් සතුටට පත් රජ පුත්කුමරු වෙනුවෙන් කැමති වරයෙක් ලබා ගන්නැයි කීය. තමන් කැමති විටෙක ලබාගතිමියි කියා සිටි බිසොව පුතු නිසි වයසට පැමිණි කල්හි රජුට " ස්වාමීනි, ඔබ වහන්සේ පුතු උපන් දිනයෙහි දෙන ලද වරය දැන් යදිමි. මගේ පුතුට රාජ්‍ය දුන මැනවැයි කීවාය.
රජ මාගේ වැඩිමල් දෙපුතුන් ගිනි කඳන් සේ සිටිද්දී එසේ කළ නොහැකිය " යි ප්‍රතික්‍ෂේප කළේය. නමුත් දේවිය නැවත නැවතත් ඉල්ලා සිටියාය. රාජ්‍යය නොදුනහොත් පුතුන් දෙදෙනාට ඇයගෙන් අනතුරක් වෙතැයි සිතූ රජ ඔවුන් කැඳවා එපවත් කියා වන වැද තමාගේ මරණයෙන් පසු පැමිණ රාජ්‍යය ලබා ගන්නා ලෙස කියා හඬා දොඩා සිඹ සනසා වනයට පිටත් කොට හැරියේය. පියාණන් වැඳ මාලිගයෙන් බැස යන දෙසොයුරන් දුටු සුරියකුරා ඒ බව දන " මමත් සොහොයුරන් දෙදෙනා සමඟ වනයට යමි " නික්ම ගියේය.
තිදෙනා වනයට යන ගමන් බෝධිසත්වයෝ මගින් ඉවත්ව ගසක් මුල හිඳ "සූර්ය කුමාරය, අර පෙනෙන විලට ගොස් නා වතුර බී නෙළුම් කොළයකින් අපටත් වතුර ගෙනෙන්නැයි කීය. ඒ වල වෙසමුණි රජුගෙන් දියරකුසෙකුට ලැබුණකි. දේව ධර්මය දත්තා කෙනෙකුන් හැර විලට බසිනා අය කා දැමීමට ඔහුට අවසර ඇත්තේය. විලට නොබසිනා කෙනෙකු කෑමට නොපිළිවන, සූර්ය කුමාරයා කිසිත් නොදැනම විලට බැස්සේය. එකෙණෙහිම දියරකුසා කුමාරයන් අල්වාගෙන දේව ධර්මය දත්තේහිදැයි ඇසීය. "එසේය. චන්ද්‍ර සුර්යය දෙදෙනා දේවධර්ම නම් වෙයි '' ඔහු කීය. " තෝ දේව ධර්මය නොදන්නෙහිය '' යි කී රකුසා කුමාරයන් දිය යට සැඟවීය. සූර්ය කුමරු ප්‍රමාද වනු බලා බෝධි සත්වයෝ ඔහු සෙවීමට චන්ද්‍රකුමාරයන් යැවූහ. දියර කුසා ඔහු ද අල්වා ගෙන " දේවධර්ම දන්නෙහිද '' යි ඇසීය. "එසේය, සතර දිශාව දේවධර්ම නම් වන්නේය" යි කීය. තෝ ද දේව ධර්ම නො දන්නෙහිය'' කියා චන්ද්‍ර කුමරුන්ද දිය යට සැඟවීය.
චන්ද්‍රකුමාරයනුත් පමා වනු දුටු බෝසතාණෝ අනතුරකැයි සිතා දෙසොහොයුරන් සෙවීමට විල ළඟට ගොස්, විලට බව සොහොවුරන්ගේ පියවර විනා ගොඩට ආ පියවර නොදැක පරීක්ෂා කරමින් සිටියහ. රකුසා හිතවත් මිනිසකුගේ වෙසින් පැමිණ විඩාවට පත්ව සිටින හෙයින් විලට බැස දිය නා, පැන් බී නෙළුම් අල දලු කා මල් පැළඳ යන ලෙස බෝසතුන්ට කීය. මේ දියරකුසා විය හැකිය, නිසැකයෙන් මාගේ සොහොයුරන් අල්වා ගන්නට ඇතැයි සිතු බෝධිසත්වයෝ තෝ මාගේ සොහොයුරන් අල්ලා ගත්තෙහිද '' යි ඇසූහ. ඔව්, අල්වාගතිමි. දේවධර්මය නොදන්නා මේ විලට බසිනා ඕනෑම කෙනෙකු කා දැමීමට මට අවසර ඇතැයි දිය රකුසා කීය.
තොපට දේව ධර්මයෙන් වැඩක් ඇද්දැයි බෝසතාණන් ඇසු විට " එසේ යයි රකුසා කීය. එසේ නම් මම දේව ධර්මය දනිමි.තට කියා දෙමි. එහෙත් අපිරිසිදු නිසා මදක් මැලි වෙමි '' යි කීයෙන් නෑමට. බිමට සැරසීමට සලස්වා අසුනක හිඳුවා දේවධර්ම කියා දෙන ලෙස බෝ සතුන්ගෙන් ඉල්ලා සිටියේය. එසේ නම් හොඳින් අසාගනුවයි බෝධිසත්වයෝ '' ලොව පව්කම් සහ නොකළ යුතු ලෝ සිරිත් බියලජ්ජාවෙන් නොකොට පින්දහම්වල ඇලී සත්පුරුෂ ගුණයෙන් යුතුව යමෙක් වාසය කරයි නම් ඔවුන්ගේ පැවැත්ම මෙලොව දේව ධර්මය නම් වන්නේ ය යි වදාළහ.
පැහැදීමට පත් දියරකුසා " ඔබට එක් සහෝදරයකු දෙයි. කවුරුන් අවශ්‍ය දැ " යි ඇසීය. බාලයා ගෙන එවයි කීහ. එවිට දිය රකුසා ඔබ දේව ධර්මය දන්නවා මිස නො පිළිපදින්නෙකැයි කීය. මක්නිසාදැයි ඇසු විට වැඩිමලා හැර බාලයා ගෙන ඒමට කීයෙන් වැඩිහල්ලන් පිදීම නම් ජෙට්ඨාපචායනය නොකරන නිසායයි කීය. " රාක්ෂසය. මම දේව ධර්මය දනිමි. පිළිපදින්නෙක් ද වෙමි. අප වනගත වුයේ මේ සහෝදරයා නිසාය. ඔහු වනයෙහිදී යකෙකුට ගොදුරු වී යයි කීමෙන් ඇතිවන නින්දාවට බියෙන් මෙසේ කළේයි'' යි බෝසතාණෝ වදාළහ. රාක්ෂසයා සාධුකාර දී දෙසොහොයුරන්ම ගෙනවුත් දුන්නේය.
බෝධිසත්වයෝ ඔහුට ධර්ම දේශනා කරමින් පෙර කළ අකුශලයෙන් අනුන්ගේ ශරීර වල ලේ මස් කන රාක්ෂසව උපන්නෙහිය. මෙතැන් සිට අකුසල් නොකොට කුසල් කරවයි වදාළහ. ඉක්බිති ඔහුගේ රැකවරණයෙන් එහිම සිට පිය රජුගේ අභාවයෙන් බරණැසට පැමිණ රාජ්‍යය ලබා ගත්හ. චන්ද්‍ර කුමාරයාට යුවරජ තනතුරු ද සූර්යකුමාරයාට සෙන්පති පදවියද දී රාක්ෂසයාට දේවාලයක් තනවා නිරන්තර පළමු කොට සියලු පුද පූජා පවත්වන ලෙස විධිවිධාන සලස්වා දැහැමින් රජ කොට කර්මානුරූපව මිය පරලොව ගියහ. ධර්ම දේශනාවසානයෙහි බහුභාණ්ඩික තෙර සෝවාන් විය.
එසමයෙහි දියර කුසා මේ කල බහු භාණ්ඩික භික්ෂු නමය. සූර්ය කුමාර දැන් අනඳ තෙරණුවෝය. චන්ද්‍ර කුමාර සැරියුත් තෙරණුවෝය. මහිංසාස නම් ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ම යයි වදාළ සේක.
පින්තුරය අන්තර්ජාලයෙන් ලබා ගත්තකි
إرسال تعليق