අපණ්ණක ජාතකය

 අපණ්ණක ජාතකය

 
(මෙම පින්තූර අයිතිකරු සතුය)

 


 බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වසන සේක. අනේපිඬු සිටාණන්ගේ යහළු වූ තීර්ථක ශ්‍රාවකයන් පන්සියයක් අරභයා මේ අපණ්ණක ජාතකය වදාළ සේක.


එක් දවසක් අනේපිඬු සිටාණෝ තමන්ගේ යහළු තීර්ථක ශ්‍රාවකයන් පන්සියයක් සමඟ බොහෝ සුවඳ දුම්, මල් පහන්, ගිතෙල්, මී, සකුරු සිවුරු පිළි ආදී පූජා බඩු ගෙන ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ සුවඳ මල් පුදා, ගිලන්පස, බෙහෙත් පිරිකර භික්ෂු සංඝයා වහන්සේට පිළිගන්වා පසෙක හුන්හ. තීර්ථක ශ්‍රාවකයෝ ද බුදුන් වැඳ බුදු සිරි බලබලා සිටාණන් සමීපයෙහි හුන්න.


එවිට බුදුරජාණන් වහන්සේ මහවැස්සක් වසින්නාක් මෙන් අහස්ගහ ගලන්නාක් මෙන් මිහිරි හඬින් විසිතුරු ධර්මයක් දේශනා කළ සේක. බණ අසා පැහැද නැගි සිටි තීර්ථක ශ්‍රාවකයෝ තීර්ථක ලබ්ධිය අතහැර බුදුන් සරණ ගියහ. එතැන් සිට හැමදා අනේපිඬු සිටාණන්සමඟ සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බණ අසති. දන් දෙති. සිල් රකිති. පෙහෙවස් සමාදන් වෙති.පසුව බුදුහු රජගහ නුවරට වැඩියහ. තීර්ථක ශ්‍රාවකයෝ බුදුසරණ හැර තමන්ගේ මුල්ස සරණයෙහිම පිහිටියහ. කල් ගෙවා නැවත බුදුරජාණන් වහන්සේ දෙව්රමට වැඩි පසු අනේපිඬු සිටාණෝ ඔවුන් කැඳවා ගෙන බුදුන් කරා ගොස් වැඳ පසෙක හිඳ බුදුන් චාරිකාවේ වැඩි පසු ඔවුන් බුදු සරණ හැර පෙර සරණම ගත් බව සැලකළහ.


බුදුරජාණන් වහන්සේ ඔවුන්ගෙන් ඒ සැබෑදෑ'යි විචාරා ''සැබෑවැ " යි කී කල්හි උපාසක වරුනි, යටින් අවීචිය සහ උඩින් භවාග්‍රය තෙක් අනන්ත අප්‍රමාණ සක්වළවල ශීල - සමාධි - ප්‍රඥා ආදී ගුණයෙන් බුදුන්ට වඩා උත්තම හෝ සම කෙනෙක් නැත. එවැනි උත්තම ගුණ යුත් තෙරුවන් සරණ ගිය කිසිවෙක් අපායෙහි නූපදිති. දෙව්ලොව ඉපිද මහසැපත් විඳිති. එබඳු සරණක් අතහැර තීර්ථක සරණ යාම නපුරුය. එසේම උපාසකවරුනි. බුද්ධානුස්සති, ධම්මානුස්සති. සංඝානුස්සති කර්මස්ථානය සතර මග. සතර ඵල ලබා දෙයි " ආදි වශයෙන් දහම් දෙසූ සේක. "උපාසකවරුනි. පෙරත් මනුෂ්‍යයෝ අසරණය සරණ යයි කියා වරදවා ගෙන අමනුෂ්‍යයන් අධිගෘහිත කාන්තාරයෙහි යකුන්ට ගොදුරුව මහත් විනාශයට පත් වූවෝය. සරණයම සරණ යයි නොවරදවා ගත් මිනිස්සු එම කාන්තාරයෙහි සුවපත් වූවෝ යයි වදාරා නිශ්ශබ්දව සිටි සේක.


එසඳ අනේපිඬු සිටුහු හුනස්නෙන් නැගී වැඳ " ස්වාමීනි. අප නොදන්නා එම කරුණ හෙළි කොට වදාළ මැනවැ " යි අයැද සිටියහ. සසරින් වැසී ගිය එම කරුණ මෙසේ ප්‍රකාශ කළ සේක.


පෙර කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු සමයෙහි බෝසතාණෝ සාත්තු නායක කුලයක ඉපිද වියපත්ව පන්සියයක් ගැල් වලින් වෙළඳාම් කරමින් හැසිරෙති. එකල තවත් සාත්තු නායකයෙක් විය. ඔහු අඥානය: අදක්ෂයඃ උපාය නොදන්නේ ද වෙයි. වරෙක බෝධිසත්වයෝ මාහැගි බඩු ගැල් පන්සියයක් පුරා වෙළඳාමට සුදානම් වූහ. අනෙක් වෙළෙන්ඳා ද එසේ සූදානම් විය. දෙදෙනා එක්ව යාමෙන් ඇතිවන සම්බාධ ගැන සිතූ බෝධිසත්වයෝ අනෙකා කැඳවා කරුණු පහදා ඔහු පළමුව හෝ පසුව යාමට කැමැත්තෙහිදැයි විමසූහ. පළමුව යාමෙන් නොකැඩුණුපාරේ යා හැකිය. ගොනුන්ට නොඉඳුල් තණ කෑ හැකිය. මිනිසුන්ට ද නොඉඳුල් පළා පැන් ලැබෙයි. රිසි මිලට බඩු විකුණාගත හැකි යයි සිතු ඔහු පළමු යමි' යි කීය. පසුව යාමෙන් පළමු ගිය ගොනුන් මේරූ තණ කෑපසු මතු වූ ළා තණ මගේ ගොනුන්ට ලැබෙයි. ඔවුන් වළ කැණ පැන් ගත් තැනින් පැන් ලබාගත හැකිය. ඔවුන් මිල කළ ලෙසින් පහසුවෙන් බඩු විකුණා ගත හැකි යයි. අනුසස් දැක පසුව යාමට බෝසතාණෝ එකක වූහ.


නුවණ නැති ගැල්නායක මිනිස් වාසය ඉක්මවා හැම ගැලකම මහ හැළි තබ්බවා පැන් පුරවාගෙන කාන්තාර මාර්ගයට පිවිසියේය. කාන්තාර මධ්‍යයට පැමිණෙත්ම එයට අධිගෘහිත යක්ෂයෙක් මොවුන් සියලු දෙනා දුබලු කොට කා දහම් ' යි සිතා සුදු ගොනුන් යෙදු ලස්සන යානාවක නැගී දුනු ඊතල ආදී ආයුධ ඇතිව පුරුෂයන් දස දොළොස් දෙනෙකු පිරිවරා, ඇඹුල්, උපුල් මල් පැළඳ තෙරෙදී තෙත් කෙස් ඇතිව නෙළුම් අල කමින් නායකයකු මෙන් ඉදිරියට ආයේය. ගැල්නායකයා සෙසු යානා යවා සිය යානාව අයින් කොට පසකට වී අපි බරණැස සිට පැමිණියෙමු. ඔබ මෙසේ මල් පැළඳ, මල් ගෙන මඬ තැවරී දිය බැස බැස මේ එන්නේ කොහි සිටද ? වැසි තිබේද ? ඉදිරියෙහි විල් පොකුණු තිබේදැයි විමසීය.


යක්ෂයා ඒ අසා "මිත්‍රයා, අර පෙනෙන නිල් වනරොදේ පටන් මුළු වනාන්තරයම ජලය ඇත්තේය. නිතර වැසි ඇත්තේය. විල් පොකුණු ඇත්තේය. මේ ගැල් ගෙන කොහි යන්නහුදැයි විමසීය. අසවල් ජනපදයට යි කී කල්හි එක් එක් ගැලෙහි ඇති බඩු ද විමසා පසු පස බරව එන දිය සැළි පිරවූ ගැල් දැක මෙතෙක් පැන් ගෙන ඒම හොඳ වුවත් ඉදිරියේ පැන් ඇති නිසා පලක් නැති බැවින් ඉවතලා පහසුවෙන් යන්නැයි පවසා මද දුරක් ගොස් අතුරුදන් විය.


අඥාන ගැල් නායකයා ද දිය පොදක්වත් නොතබා ඉවත් කොට ගමන් ගත් නමුත් ඉදිරියෙහි හරකුන්ට හෝ මිනිසුන්ට බීමට හෝ ආහාර පිස ගැනීමටත් පැන් ටිකක් නොලැබ මිනිස්සු විඩාවට පත්ව ගැල් නවතා ගොනුන් ගැටගසා තැන තැන වැතිර නිදන්ට වන්හ. රාත්‍රී භාගයෙහි යක්ෂයන් පැමිණ හරකුන් හා මිනිසුන් මරා මස් කා ඇටකටු සීසීකඩ දමා ගියෝය. බඩු පිරූ පන්සියයක් ගැල් එසේම තිබුණේය. මාස කීපයකින් වෙළඳාමට පිටත් වූ බෝධිසත්වයෝ කාන්තාර මාර්ගයට පැමිණ සැළිවල පැන් පුරවා මිනිසුන් රැස්කොට " මගෙන් නොවිමසා වතුර පතක්වත් ප්‍රයෝජනයට නො ගනිව්, විෂගස් ඇති නිසා පෙර නොකෑ පලයක්. කොළයක්. මලක් නොකෑ යුතු '' යි කියා අවවාද කොට දිය නැති යකුන් ඇති කාන්තාරයට ගමන් කළහ. යක්ෂයා පෙර පරිදි ඉදිරියට පැමිණියේය. ඔහු දුටු කෙණෙහිම "මේ දිය නැති කාන්තාරයෙහි නිර්භීත වූ, ඇස් රතු වූ සෙවණැල්ල නොපෙනෙන මොහු පළමු ගිය සාත්තු නායකයාත් පිරිසත් රවටා කා දමන්නට ඇතැයි සිතා අපි වෙළෙන්දෝ වෙමු. අනික් පැනක් නොදැක ගත් පැන් නොදමමු " යි කීහ. යක්ෂයා මද දුරක් ගොස් අතුරුදන් විය.


ඔහු ගියපසු ගැල්කරුවෝ පැන්සලි හිස්කොට පහසුවෙන් යමුයි බෝසතුන්ට කීහ. වනරොදින් එපිට වැසි ඇති බව කී නමුත් යොදුනක් පමණ තැන් හමන වැසි සුළං කිසිවක් කාටවත් නොදැනේ. විදුලියක් නොපෙනේ. අකුණු හඬක් නො ඇසේ. මොහු මිනිස්සු නො වෙති. යක්ෂයෝය. අප රවටා කා දැමීමට පැමිණියෝය. පෙර ගිය අඥාන සාත්තුනායකයා සහ පිරිස නිසැකවම පාදමන්නට ඇත. ඔවුන්ගේ බඩු පිරූ ගැල් එසේම දක්නට ලැබෙනු ඇත. එනිසා දිය බිඳුවක්වත් ඉවත නෙරදා වහා ගැල් පදව් " යි කියා නික්මුණහ.


බෝධිසත්වයෝ යමින් බඩු පිර වූ ගැලුත් මිනිසුන්ගේ හා ගොනුන්ගේ ඇටකටුත් දැක වේලාසනින් සඳවුරු බැඳ තුන්යම් රාත්‍රිය රැකවල ගෙන අරුණ නැගූහ. පසුදින උදෑසනින්ම සියලු සංවිධාන කොට අබලන් ගැල් දමා තරගැල් ගෙන අඩුමිල ඇති බඩු ඉවත දමා මා හැඟි බඩු පටවා සිතු තෙනටම ගොස් බඩු විකුණා සුවසේ සිය නුවරටම පැමිණියහ.


තිලෝගුරු බුදුරජාණන් වහන්සේ " සිටාණෙනි. මෙසේ විරුද්ධ පැත්ත ගත් අඥානයෝ මෙසේ විනාශයට පත් වූහ. අවිරුද්ධ පැත්ත ගත් නුවණැත්තෝ අදහස් සඵල කොට සුවපත් වන්නාහ යි අපණ්නක ධර්ම දේශනාව වදාළ සේක, අපණ්නක පරිපදාව නම් රත්නත්‍රය සරණ  

යාමය, පන්සිල් දසසිල් සිවු පිරිසිදු සිල් නොකිලිටිව රැකීමය, ඉන්ද්‍රිය සංවරය, පමණ දැන භෝජනය ගැනීමය. නිදි වැරීම්ය. ධ්‍යාන, භාවනා වැඩීමය. සතර මග සතර ඵල ඉපදවීමයි. මිථ්‍යා දෘෂ්ටිය, දශ අකුශලය, ආදී සියල්ල අපණ්ණක පටිපදාවට විරුද්ධ කාරණයි. අපණ්නක පටිපදාවෙන් බුදු පසේ බුදු, රහත් බවට පමුණුවා නිවන් සැප සාදාලන්නෝ යයි අනේ පිඬු සිටාණන් ප්‍රමුඛ පන්සියයක් උපාසකවරුන්ට වදාළ සේක. දේශනා කෙළවර උපාසකවරු සෝවාන් වුහ.


එකල අඥාන සාත්තුනායක පුත් දැන් දෙව්දත්ය. ඔහුගේ පිරිස දැන් දේවදත්ත පිරිසය. නුවණැති සාත්තුනායක පුත් පිරිස දැන් බුදු පිරිසය. නුවණැති සාත්තු නායක පුත්‍ර නම් තමන් වහන්සේ ම යයි වදාළ සේක

 

 

ඔබ සැමට තෙරුවන් සරණයි



Post a Comment

أحدث أقدم
LightBlog

Top Post Ad

LightBlog