දස පාරමිතා

 

දාන පාරමිතාව පිළිබදව නිවරදි අවබෝධයෙන් දන් දී සසර කෙටි කරගෙන නිවන් දකින්න






සම්බෝධියට පමුණුවන කුසලයෝ පාරමිතා නම් වෙති. ලෞකික සම්පත් පතා කරන කුසලයෙන් ලෞකික සම්පත් ම ලබා දෙනු මිස සම්බෝධියට නො පමුණුවනු ලැබේ. එ බැවින් ඒ කුසලයෝ පාරමී සංඛ්‍යාවට නො ගැනෙති. සම්බෝධිය හෝ නිවන පතා කරන කුසලයෝ පාරමිතා යනුවෙන් සදහන්වේ


දානං සීලඤ්ච නෙක්ඛම්මං - පඤ්ඤා විරියෙන පඤ්චමං

ඛන්ති සච්චමධිට්ඨානං - මෙත්තුපෙක්ඛාතිමා දස


01 දාන පාරමිතාව

02 සීල පාරමිතාව

03 නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව

04 ප්‍ර‍ඥා පාරමිතාව 

05 වීර්‍ය්‍ය පාරමිතාව

06 ක්ෂාන්ති පාරමිතාව

 07සත්‍ය පාරමිතාව

08 අධිෂ්ඨාන පාරමිතාව

09 මෛත්‍රී පාරමිතාව

10 උපේක්ෂා පාරමිතාව යනුවෙන් පාරමිතා දහයකි.  



1. දාන පාරමිතාව

තමන්ට අයත් දෙයක් පූජාවක් වශයෙන් හෝ අනුග්‍රහයක් වශයෙන් හෝ කම අයිතිය අත්හැර අපේක්ෂාවකින් තොර ව දීම දානයයි. තමන්ට වඩා උසස් සීලාදි ගුණධර්මවලින් යුක්ත අයට පරිත්‍යාග කිරීම පූජා බුද්ධියෙන් දෙන දනයයි. කෙනකුගේ අසරණකම ගැන සිතා ඔහුට උපකාරයක් වශයෙන් කරුණාවෙන්, අනුකම්පාවෙන් යමක් පරිත්‍යාට පිරිම අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානයයි. දානය පාරමිතාවක් වීමට නම් තණ්හාවෙන්, මානයෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් එය සිදු කළ යුතු යි.


දාන වස්තුව කෙරෙහි ලෝභය මඳකුදු ඉතිරි කර නොගෙන සම්පූර්ණයෙන් දුරු කොට දිය යුතු ය. දන් දෙන්නා අනෙක් අයට වඩා කැපී පෙනීමේ අදහස් ඇති ව හෝ තම වත්පොහොසත්කම පෙන්වීම් සඳහා හෝ දීමේ දී එම දානයට මානය පදනම් ව ඇත. එසේ ම දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සම්පත් ලබා ගැනීමේ ආශාව පෙරදිරි කර ගෙන දීමෙන් තෘෂ්ණාව වැඩි දියුණු වේ. භාවනාදි අනෙක් ගුණ දහම් නොසලකා හැර දානයෙන් පමණක් විමුක්තිය ලබා ගත හැකි ය යන අදහස මත දන් දීම මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත ව සිදු කරන්නකි. දන් දීමේ දී අයහපත් සිතුවිලි වලින් තොර ව මෛත්‍රී සිතුවිලි ඇති කර ගත යුතු ය. දානයෙන් හොඳ විපාක ඇති බව හා එයින් තමන්ට යහපතක් වන බව සිතා මෝහයෙන් ද ඈත් වී නුවණින් යුක්ත ව දන් දෙන විට අලෝභාදි කුසල සිතුවිලි වර්ධනය වේ.


දානය පාරමිතාවක් වශයෙන් පූරණය කරන උතුමෝ එය.


• දාන පාරමි වශයෙන් තමන්ගේ භෞතික සියලු වස්තු දන් දීමෙන් (වෙස්සන්තර ජාතකය


•දාන උපපාරමී වශයෙන් තමන්ගේ ශරීර අවයව දන් දීමෙන් (සිවි ජාතකය) (සස ජාතකය)


දාන පරමත්ථ පාරමී වශයෙන් තම ශරීරය දන් දීමෙන් යන ත්‍රිවිධාකාරයෙන් එම පාරමිතාව පුරණය කරති.


නිර්වාණාවබෝධය අපේක්ෂා කරන උතුමෝ මෙම ගුණධර්මය ටිකෙන් ටික දියුණු කර ගනිති. මෙය සමාජගත ජීවිතයට ද වැදගත් වන බැවින් අපද එම ගුණධර්මය පුරුදු පුහුණු කිරීම ඉතා ප්‍රයෝජනවත්ය.


සම්බෝධිය පතා තමා අයත් වස්තුව දන්දීම දාන පාරමිතාව ය. දන් දීම ගැන විස්තර ඉහත දානය විස්තර කිරීමේදී දක්වා ඇත. ලොවුතුරා බුදු බව සඳහා දාන පාරමිතාව පුරන්නවුන් බාහිර වස්තුව දන්දීම ම ප්‍ර‍මාණ නො වේ. එය ලබනු කැමතියන් විසින් අඹුදරුවන් ද, ලේ මස් ආදී ශරීරාවයවයන් ද, ජීවිතය ද පරිත්‍යාග කළ යුතු ය. අප මහා බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව වර්ණනා කරන ගාථාවක් මෙසේ ය.


“සෝ සාගරෙ ජලධිකං රුධිරං අදාසි

භූමිං පරාජිය මංසමදාසි දානං

මේරුප්පමාණ මධිකඤ්ච සමොලි සීසං

ඛෙ තාරකාදිකතරං නයනං අදාසි.”

“උන් වහන්සේ සාගරයේ ජලයට ද වඩා ලේ දන් දුන් සේක. මහ පොළොව පරදවා මස් දන් දුන් සේක. ගොඩ ගැසුව හොත් මහ මෙරට ද අධික ව ඔටුනු සහිත හිස් දන් දුන් සේක. අහසේ තරුවලට වඩා ඇස් දන් දුන් සේක” යනු එහි තේරුම ය.

මෙලෙස දාන පාරමිතාව පිළිබදව අවබෝධකර ගෙන අපට හැකි සෑම අවස්තාවක දීම ඊලග බව සුඛිත මුදිත කර ගනිමු



පින්තුරය අන්තර්ජාලයෙන් ලබා ගත්තකි


 ඔබ සැමට තෙරුවන් සරණයි

Post a Comment

أحدث أقدم
LightBlog

Top Post Ad

LightBlog