චුල්ලක සෙට්ඨි ජාතකය

 චුල්ලක සෙට්ඨි ජාතකය

 බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජීවක අඹඋයනෙහි වාසය කරද්දී චුල්ලපන්ථක තෙරුන් මුල්කොට ගෙන මේ ජාතකය වදාළ සේක. ඒ මෙසේය:


රජගහ නුවර මහධන සිටාණන්ගේ දූ කුමරියක් දාසයකු සමඟ යහළු වී එය අනුන්ට අනාවරණය වුව හොත් නපුරු යයි සිතා. මවුපියන් දැනගතහොත් විනාශයක් වෙතැයි සිතා වෙනත් ප්‍රදේශයකට පැන ගොස් ජිවත් වෙමු" යි වටිනා වස්තුන් රැගෙන, පලා ගියාය. එහිදී කුමරියට දරු ගැබක් වූයෙන් නෑ මිතුරන් නැති තැන දරුවන් වැදීම දුක් නිසා මවුපියන් වෙත යාමට කතාකර ගත්හ. පුරුෂයා කල්පසු කරන බව දත් කුමරිය ඔහුගෙයි නැති වෙලාවක අසල්වාසින්ට කියා තනිවම පිටව ගියාය. පුරුෂයා ගෙට පැමිණ අසල්වාසීන්ගෙන් තතු විමසා දැන ලුහු බැඳ ගියේය. අතරමගදී දෙදෙනා හමුවූ අතර දරුවා ලැබීමද එහිදීම සිදු විය. දැන් නෑයන් වෙත යාමෙන් වැඩක් නැතැයි ආපසු පැමිණි ඔවුහු පාරේ උපන් බැවින් දරුවාට පන්ථක කියා නම් කළහ. දෙවැනි වතාවේ ද දරු ගැබක් පිහිටා ගමට පිටත් වූ නමුත් පළමු පරිදිම කරුණු සිදු විය. පෙරළා ගෙදර ගිය ඔවුහු පළමු කුමරු මහාපන්ථක කියාද දෙවැන්නා චුල්ලපන්ථක කියා ද නම් කළහ.


අසල්වැසි ගම්දරුවන් සමග සෙල්ලම් කරන මහාපන්ථක කුමරා ඔවුන් බාප්පා මුත්තා, අත්තම්මා කියනු අසා අපට කෑයෝ නැද්දැයි මවගෙන් ඇසීය. රජගහ නුවර මහධන සිටාණෝ නුඹගේ මුත්තණුවෝය. එහි බොහෝ නෑයෝ වෙති යි මව කීවාය. එහි නොයාමට හේතු පහදා දුන් නමුත් දරුවන්ගේ ඇවිටිලි බොහෝ වූ හෙයින් කිම ? මවුපියෝ දරුවන් දැක මස්කපා කත්ද? මවුපියන් දැකීමට යමු " යි රජගහ නුවර බලා ගියහ. නුවර දොරටුවෙහි නවාතැන් ගත් ඔවුහු තමන් ආ බව දන්වා යැවූහ. මවුපියෝ ඒ අසා "මුන් දෙදෙනා අපගේ වංශයට හානි කළහ. මහත් අපරාධයක් කළහ. අපේ ඇසට පෙනෙමින් ළඟ නොසිටිය යුතුයි . කියා කැමති තැනෙක ගොස් ජීවත් වීමට වස්තු සම්පත් දෙවා දරු දෙදෙනා ගෙන්වා ගත්හ. එතැන් සිට මහාපන්ථක කුමාරයා මුත්තණුවන් සමඟ දිනපතා බුදුන් සමීපයට බණ ඇසීමට යයි. ටික දිනකින් දරුවා මහණ වනු කැමතිව ඒ බව මුත්තණුවන්ට කීය. ලොව සියලු දෙනාගේ මහණ වීමට වඩා නුඹගේ මහණවීම මට වැදගත් යයි කී සිටාණෝ ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළහ. උන්වහන්සේගේ නියමයෙන් එක් තෙර කෙනෙකුන් වෙතින් මහණ උපසම්පදාව ලත් මහා පන්ථක තෙරණුවෝ නොබෝ දිනකින් රහත් වූහ. පසුව තමන් ලත් රහත් සැපත චුල්ලපන්ථකට ද ලබා දෙනු කැමතිව සිටාණන් හට දන්වා පැවිදි කරවූ සේක.


චුල්ලපන්ථක සාමණේරයෝ මද නුවණැත්තාහ. සතර පද ගාථාවත් සාරමසකිනුත් කටපාඩම් කරන්නට අසමත් වූහ. උන්වහන්සේ කාශ්‍යප බුදුන් සමයෙහි නුවණැතිව නුවණ මද භික්ෂු කෙනෙකුන් යළි උගන්නා කල්හි සිනාසී කවටකම් කොට නින්දා කළහ. ඒ නම පාලි ඉගෙන නො ගත්තේය. පාඩම් නොකළේය. ඒ අකුශල කර්මයෙන් දැන් මෙසේ වූහ. මහාපන්ථක තෙරණුවෝ "පන්ථකය, සාරමකින් එක ගාථාවකුත් පාඩම් කළ නොහැකිව කෙසේ පැවිද්ද සඵල කරන්නෙහිදැ'' යි කියා පන්සලෙන් නෙරපා දැමූහ.


දිනක් ජීවක වෙදතුමා අඹ වනයට ගොස් බුදුන් වැඳ බණ අසා මහාපන්ථක තෙරුන් හමු වී ස්වාමීනි හෙට බුදුන් ප්‍රධාන පන්සියක් භික්ෂුන් මාගේ ගෙයි දනට වැඩිය මැනවැයි ආරාධනා කළේය. ජීවකයිනි, චුල්ලපන්ථක සසුනින් පිහිටක් නොලද්දේය. උන් හැර සෙසු භික්ෂූන්ට ඔබගේ ආරාධනාව කියන්නෙමියි මහාපන්ථක තෙරණුවෝ කීහ. මාගේ සොහොයුරා මා හැර සෙසු භික්ෂුන් සඳහා ආරාධනා පිළිගත්තේය. සැබැවින්ම මා කෙරෙහි බිඳුණෝය. මෙහි සිටීමෙන් පලක් නැත. යමි ගොස් සිවුරුහැර පින්දහමි කරමින් ජීවත්වෙමි යි සිතූ චුල්ලපන්ථක පිටමං විය.


ඒ අළුයම සක්මන් කරමින් සිටි බුදුරදුන් දැක චුල්ලපන්ථක තෙර ගොස් නමස්කාර කළේය. චුල්ලපන්ථක මේ වෙලේ කොහි යවුදැයි විචාළ කල්හි සියල්ල සැල කළේය. එවිට භාග්‍යවතුන් වහන්සේ පන්ථකය. ඔබගේ පැවිද්ද මා සතුය. මා සමඟ එව, ගිහි වීමෙන් ප්‍රයෝජනයක් නැතැ" යි කැඳවා ගෙන ගොස් පිරිසිදු රෙදි කැබැල්ලක් දී නැගෙනහිරට මුහුණ ලා " රජෝ හරණං " කියා මෙය පිරිමදින්නැ '' යි නියම කොට භික්ෂු සංඝයා සමගින් ජීවකගේ ගෙට වැඩ බුද්ධාසනයෙහි වැඩහුන් සේක. පිරිමැදීමෙන් කිළිටි වූ රෙදිකඩ දුටු චුල්ල පන්ථක තෙරුන්ගේ සිත හේතුවෙන් හටගත් ධර්මයන් මොහොතක් පාසා නැසෙන ස්වභාව යුත් අනිත්‍යතාවෙන් යුක්තය යන විදර්ශනාවට යොමු විය. ඒ බව දත් බුදුරජාණන් වහන්සේ පන්ථකය. රෙදි කඩ කිලිටිව ගියා සේ ඔබගේ රාගාදි රජස් සිත කිලිටි කරයි. ඒවා දුරලන්නැයි ආලෝකයක් විහිදුවා අවවාද කළ සේක. උන්වහන්සේ රජස් දුරලා රහත් වූහ.


චුල්ලපන්ථක තෙර පෙර භවයෙක රජෙක්ව ඉපද නුවර පැදකුණු කරන වේලෙහි නළලින් ඩාදිය පිරිසිදු සළුවෙන් පිසදැමීය. සළුව කිලිටි විය. මේ අපවිත්‍ර ශරීරය නිසා පවිත්‍ර සළුව කිලිටි විය. ඒ හේතුවෙන් උපන් සියල්ල මෙසේ අනිත්‍යතාවෙන් යුක්තය කියා ඇති වූ අනිත්‍ය සංඥාව මෙකල රජෝහරණයම උන්වහන්සේට රහත් වීම සඳහා හේතු වූයේය.


ජිවක භාග්‍යවතුන් වහන්සේට පැන් පිළිගැන්වීය. උන්වහන්සේ ආරාමයේ තව භික්ෂූහු සිටිති '' යි අතින් පාත්‍රය වැසූ සේක. මහාපන්ථක තෙර '' ස්වාමිනි විහාරයෙහි භික්ෂුහු නැතැ' යි කීය. භාග්‍යවතුන් වහන්සේ ඇති නැති බව දැන එවයි මිනිසකු යැවූහ. චුල්ලපන්ථක තෙරණුවෝ මාගේ සොහොයුරාණන්ට භික්ෂූන් ඇති බව පෙන්වමි සිතා සිවුරු මහන සිවුරු සෝදන. සිවුරු පඬු පොවන, පාඩම් කරන දහස් ගණන් භික්ෂූන් අඹ වනය පුරා මැවූහ. ඒ පුරුෂයා දිවගොස් අපමණ භික්ෂූහු සිටිතැයි සැලකළේය. චුල්ලපන්ථක කැඳවා ගෙන එවයි බුදුන් වදාළ කල්හි එහි ගිය පුරුෂයා චුල්ලපන්තකයන් කැඳවතී කිය. සියල්ලෝම මම චුල්ලපන්ථක වෙමි. මම චුල්ලපන්ථක වෙමි නැගී සිටියහ. ඔහු ගොස් ඒ බව සැලකළේය. එසේ නම් පළමු කීවහු අතින් අල්වා ගන්න. එවිට සෙස්සන් අතුරුදහන් වෙනි වදාළහ. එපරිද්දෙන් චුල්ලපන්ථක තෙරුන් කැඳවාගෙන ආපසු දන් වළඳා අනුමෙවෙනි බණ දෙසීම චුල්ලපන්ථක තෙරුන්ට පවරා විහාරයට වැඩි සේක.

සවස් වේලෙහි දම්සභාවට රැස් වූ භික්ෂූන් වහන්සේ මේ පුවත මුල්කොට බුදුරජාණන් වහන්සේගේ ගුණ කථා කියමින් හුන්හ. එහි වැඩි භාග්‍යවතුන් වහන්සේ චුල්ලපන්තක දැන් මා නිසා ධර්ම මහත්වයට පැමිණියේය. පෙර මා නිසා භෝග මහත්වයට පැමිණියේය '' යි වදාළ සේක. සික්ෂූන් වහන්සේලාගේ ආරාධනයෙන් ඒ අතීත පුවත මෙසේ දේශනා කළසේක.


පෙර බරණැස් නුවර බඹදත් රජු සමයෙහි බෝසතාණෝ සිටු ගෙයක ඉපිද සිටු තනතුරු ලබා චුල්ලසිටාණෝ නමින් ප්‍රසිද්ධ විය. දිනක් රාජ සේවයට යද්දී වීදියෙහි මළ මියයෙකු දැක නුවණැති මිනිසකුට මේ මීකුණගෙන අඹුදරුවන් පෝෂණය කරන්ටත් වෙළඳාම් කරන්නටත් පුළුවනැයි කීහ. එක් දුප්පතෙක් වන චුල්ලන්තේවාසික, නුවණැති නැකැත් නිමිති දන්නා සිටාණෝ මෙසේ නිකම් නොකියතී සිතා මීකුණ ගෙන බළලකු ඇති කෙනෙකුට විකුණා වී ඇට දෙකහමාරක රන් ලබා ගත්තේය. එයින් උක් සකුරු හා පැන් කළයක් මිලදී ගෙන වනයෙන් මල් මාලා ගෙන එන්නවුන්ට සංග්‍රහ කළේය. ඔවුහු මල් මිට මිට දුන්හ. ඒවා විකුණා ලත් මුදලින් හකුරු, පැන් ගත් හෙතෙම, දෙවෙනි දින මල්වත්තට ගියේය. මාලාකාරයෝ මල් ගස් වලින් භාගයක් කඩාගෙන සෙස්ස ඔහුට දුන්හ. මේ උපායෙන් කීප දිනකින් කහවනු අටක් ලබා ගත්තේය. දිනක් කුනාටු සහිත මහ වැස්සෙන් රජ උයනෙහි දිරාපත් දඬු රිකිලි කඩා වැටුණේය. ඔහු උයන් පල්ලා හමු වී අවසර දෙතහොත් ඒවා ඉවත් කොට දෙමි කීය. අවසර ලත් හෙතෙම කුඩා දරුවන්ගේ සෙල්ලම් පිටියට ගොස් ඔවුන්ට උක් සතුරු දී ඔවුන් ලවා සියලු දර උයනින් පිටතට ඇද ගොඩ ගැස්විය. වළං තනන කුඹල් කරු දරගොඩ දැක මිලදී ගත්තේය. වළං ටිකක් ද දුන්නේය. 

මෙයින් කහවනු විසිහතරක් උපයා ගත් චුල්ලන්තේවාසික පැන් සලක් පිහිටුවා තණ අදින මිනිසුන් පන්සියයකට පැනින් සංග්‍රහ කරන්ට පටන් ගත්තේය. ඔවුහු අවශ්‍ය උපකාරයක් ඇද්දැයි විමසූහ. අවශ්‍ය විටෙක කියන්නෙමියි ගොඩ වෙළඳාම් මුහුදු වෙළඳාම් කරන කා සමඟත් හිතවත්ව වාසය කළේය. දිනක් හෙට අසුන් පන්සියයක් ගත් අස් වෙළෙන්දෙක් එන්නේය'' යි ඔහුට ආරංචි විය. තණ අදින්නවුන් හමු වු ඔහු තණ මිටිය බැගින් දෙන ලෙසත් තමා ඒවා විකුණා ගන්නා තුරු ඔවුන්ගේ තණ නොවිකුණන ලෙසත් ඉල්ලා සිටියේය. එයින් කහවනු දහසක් උපයාගත් චුල්ලන්නේවාසික මුහුද වෙළඳාමෙහි නිරත යහළුවකුගෙන් වරායට වෙළඳ නැව් පැමිණ ඇති බව දැනගත්තේය. ඔහු නැවට අත්තිකාරම් දී පිටතින් බඩු ගැනීමට එන්නවුන් තමා හමුවට ගෙන එන ලෙස තමාගේ මිනිසුන්ට නියම කළේය. බරණැස් නුවරින් බඩු මිලදී ගැනීමට පැමිණි වෙළෙන්දෝ ඒ මිනිසුන් මගින් චුල්ලන්තේවාසික හමු වී ඔහුට දහස බැගින් දී නැව් බඩු මිලදී ගත්හ.


ලක්‍ෂපතියෙක් වූ චුල්ලන්තේවාසික කෙළෙහිගුණ සැළකිය යුතුය'' යි සිතා චුල්ල සිටාණන් හමුවිමට ගියේය. සියලු තොරතුරු විමසා දත් සිටාණෝ මෙවැනි මිනිසකු අත හැර දැමීම නුසුදුසුය '' යි සිය දියණිය පාවා දී සියලු සම්පත හිමි කළ අතර සිටාණන්ගේ අභාවයෙන් පසු එරට සිටු තනතුර ද ලැබීය.


මෙය දේශනා කළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුවණැති මිනිසෙක් මද ගින්නක් උපායෙන් මහා ගින්නක් බවට පත් කිරීමට සමත් වන්නේ යම්සේද එසේ ස්වල්ප මිලකින් වස්තුවත් කීර්තියත් වැඩි දියුණු කරගන්නේය'' යි ද වදාළ සේක.


එකල චුල්ලන්තේවාසික මෙකල චුල්ලපන්ථක තෙරුන් වහන්සේය. චුල්ලසිටාණෝ නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම යයි වදාළ සේක.

 

 

 ඔබ සැමට තෙරුවන් සරණයි

 

Post a Comment

أحدث أقدم
LightBlog

Top Post Ad

LightBlog