චතුරාර්ය සත්‍යට අනුව දුක
හැදිනගෙන සුවසේ ජිවිතට මුහුණ දෙමු
බුදු දහමේ මූලික ඉගැන්වීමක් ලෙස චතුරාර්ය සත්‍යය හැදින්විය හැකිය
දුක්ඛාර්ය සත්‍යය,
දුක්ඛ සමුදයාර්ය සත්‍යය,
දුක්ඛ නිරෝධාර්ය සත්‍යය,
දුක්ඛ නිරෝධ ගාමිනි ප්‍රතිපදාර්ය සත්‍යය යනු එම සත්‍ය සතරයි.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දි චතුරාර්ය සත්‍යය පිළිබඳ ව අනුදැන වදාළේය. ඒමනිසා එම එක් එක් සත්‍යයක් පිළිබඳව වෙන වෙන ම හැදෑරීමට අප උනන්දු විය යුතු ය. පළමුව දුක්ඛාර්ය සත්‍යය කෙරෙහි අවදානය යොමු කරමු.
‘දුක්ඛ ‘ යන්නෙන් අදහස් වන්නේ කුමක් දැයි පළමු ව තේරුම් ගත යුතුය. කරදරය, විපත, වේදනාව, අසහනය, තෘප්තියක් නැතිකම, අසම්පූර්ණකම, නිසරු බව වැනි අර්ථ දුක්ඛ යන්නෙහි ඇත. සරල ලෙස ගත් විට අපට කායික වශයෙන් හා මානසික වශයෙන් ඇති වන සියලු ම පීඩා දුක්ඛ යන්නට ඇතුළත් වේ.
මෙම දුක් සියලු දෙනාටම පොදුය. හැම තැනකටම, හැම දේශයකටම පොදු ය. මෙහි දී දුක්ඛ ලෙස විස්තර වන්නේ ඕනෑම රටක ඕනෑම කාලයකට අයත් වුවන්ට විඳීමට සිදු වන අමිහිරි අත්දැකීම්ය. සැමට පොදු වූ එබඳු දුක් සමූහයක් ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි සහ සච්ච විභංග සූත්‍රයෙහි සඳහන් වෙයි. එම සූත්‍ර දෙකට ම අනුව බුදු දහමෙහි දුක්ඛ ලෙස සැලකෙන්නේ පහත සඳහන් ස්වභාවයන්ය.
ජාති, ජරා ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, අප්‍රිය අය සමග එකතුවිම. ප්‍රිය අයගෙන් වෙන්වීම . කැමැති දේ නොලැබීම යනු ඒවා වේ.
ජාති නම් ඉපදීමයි. සත්ත්වයන් ඒ ඒ සත්ත්ව කොට්ඨාසවල ඉපදීමයි. මිනිසකු ව ඉපදීම තිරිසනෙකුව ඉපදීම ආදියයි. මිනිසකු පිළිබඳ ව සැලකුව හොත් මවිකුස පිළිසිඳ ගැනීමේ සිට මවුකුසින් බිහි වීම දක්වා ජාති යන්නට ඇතුළත් වේ. මේ කාල පරිච්ඡේදය තුළ දරුවා විවිධ පීඩාවලට භාජන වන නමුත් පසුව මතකයට නොනැඟේ. අප බුද්ධිමත්ව සලකා බැලුව හොත් ඉපදීම දුකක් වන අයුරු තේරුම් ගැනීම අපහසු නැත. අප ලෙඩ වීම නමැති දුකට පත්වන්නේ උපන් නිසා නේද? ඉපදීම නො වූයේ නම් අනෙක් කිසිදු දුකකට අප භාජන වන්නේ නැත. ජාතිය හෙවත් ඉපදීම දුකක් ලෙස දැක්වෙන්නේ එබැවිනි. සසර නැවත නැවත ඉපදීමෙන් නැවත නැවතත් දුකට භාජන වේ.
ජරා නම් දිරා යෑමයි. සාමාන්‍ය ව්‍යවහාරයෙහි මහලු වීම යයි කියන්නේ මෙම ස්වභාවයටයි ඉඳුරන් මුහුකුරා යෑම, ආයුෂ ගෙවී යෑම, ඇඟ රැලි වැටීම, කෙස් පැසීම. දත් හැලීම ආදියෙන් අපට පැහැදිලි වන්නේ ජරාව හෙවත් දිරා යෑමයි. එම දිරා යෑම නිසා අපට විවිධ කායික මානසික පීඩා ඇති වේ. හොඳට ම වයසට ගිය කෙනෙකු ගැන සිතා බලමු. ඉතා පැහැපත්ව තුබුණු ඔහුගේ සිරුර අද දුර්වර්ණ වී ඇත. තරුණ කල දුව පැන ඇවිද්ද ඔහුට අද හැරමිටි වාරුවෙන් වුව ද තනි ව ගමන් කළ නොහැකි ය. දත් හැලී ඇති නිසා ආහාර අනුභවය පවා අපහසුය. හොඳින් වචන උච්චාරණය කළ නොහැකි ය. ඇස් පෙනීම. කන් ඇසීම දුර්වලය. මහලු වීම නිසා ම දැනෙන ශාරීරික වේදනාත් ඒවා නිසා ඇති වන මානසික පීඩාත් අපමණය. මේ සියල්ල අපට පැහැදිලි වන්නේ වයසට යෑම දුකක් ලෙසයි.
ව්‍යාධි නම් ලෙඩ වීමයි. කුඩා අසනීපයක් හෝ වැළඳී එයින් පීඩා විඳි අයකුට ලෙඩ වීම දුකක් බව තේරුම්ගැනීම අපහසු නැත. රෝහලකට ගිය විට විවිධාකාර රෝගීන් අපට දක්නට ලැබේ. අතපය කැඩුණු අය, තුවාල සෑදුණු අය, පිළිකා වැනි දරුණු රෝගවලට ගොදුරු වූ අය. ඇතැම් විට සිහි කල්පනාවෙන් තොර ව තම ශරීරය මල මුත්‍ර වලින් අපිරිසිදු කරගත් අය කොතරම් සිටිත්ද? මානසික රෝහල්වල දුකට පත් තරුණ රෝගීහු කොපමණ සිටිත්ද? අපට ඇති වන හිසරදය පවා මොන තරම් පීඩාවක් ගෙන දෙන්නේ ද? මේ සියල්ල ම අපට පැහැදිලි කරන්නේ ව්‍යාධිය දුකක් බවයි.
මරණ නම් ඒ ඒ සත්ත්ව කොට්ඨාසවල උපන් අය එතැනින් චුත වීම හෙවත් ඒ ඒ ස්ථානවල ජීවත් වීම අවසන් වීමයි. ඇතැම් අයට මරණය ගැන සිතීම පවා දුකකි. ඇතැමුන් මිය යන්නේ දිගු කලක් පණ අදිමින් සිටිමින්ය. මරණයෙන් සසර කෙළවර වන්නේ ද නැත. යළි යළිත් උපත ලබා නැවත නැවතත් දුකට භාජන වේ. ඒ සැම අංශයකින් ම බලන විට මරණය දුකක් බව ඉතා පැහැදිලිය.
අපේ ඥාතීන් නැති වීම. එකතු කරගත් සම්පත් විනාස වීම නිසා අපට චිත්ත පීඩා ඇති වේ. එය ද දුකකි. එය හැඳින්වෙන්නේ ශෝකය කියායි. අනේ. අපොයි. ආදී වශයෙන් කටින් ප්‍රකාශ කොට හඬා වැලපීම පරිදේවයයි. මානසික දුක් පීඩා දෝමනස්ස ලෙස හැඳින් වේ. උපායාස නම් සිතේ වෙහෙසකර ගතියයි. කායිකවත් මානසිකවත් දුබල වී සුසුම් ලන ස්වභාව යයි. එය ද අප මුහුණ පාන දුකකි.
අප්‍රිය සම්ප්‍රයෝග දුක යනු තමන් අකැමැති පුද්ගලයන් සහ තමන් අකැමැති දේවල් සමග එකතු වීමයි. අකැමැති. අප්‍රිය පුද්ගලයන් සමඟ එකට වාසය කරන්නට සිදු වුව හොත් එය අපට මානසික වශයෙන් මහත් පීඩාවකි. එසේ ම තමන් අකැමැති පරිසරයක ජීවත් වීමට සිදු වුව හොත් එය ද මානසික පීඩාවකි. එය ද දුකක් ලෙස හැදින්විය හැකය. ප්‍රිය විප්‍රයෝගය ද දුකකි. ප්‍රිය විප්‍රයෝගය නම් ප්‍රිය පුද්ගලයන්ගෙන් සහ ප්‍රිය වස්තුන්ගෙන් වෙන් වීමයි. මවගෙන්. පියාගෙන්, හිත මිතුරන්ගෙන් වෙන් වන අවස්ථාවල ඇති වූ වේදනාව හා තමන් ඉතා ප්‍රිය කරන දෙයක් නැති වුව හොත් සිතට දැනෙන්නේ වේදනාව ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ලෙස හැදින්විය හැකිය. ඉච්ඡිත අලාභ යනු කැමැති දේ නොලැබීමයි මෙය ද දුකක් ලෙස බුදුරදුන් අනුදැන වදාළේය.
ඒ නිසා කෙටියෙන්ම කියතොත් පඤ්ච උපාදානස්කන්ධයම දුක යයි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යනු පංචස්කන්ධය වේ. රූප නම් අපේ භෞතික ශරීරයයි. අපේ ශරීරය නිර්මාණය වීමට ප්‍රධාන පදනම වන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයෝයි. ඒවාත් ඒවා පදනම් කරගෙන ගොඩ නැගෙන ශරීරයේ අනෙකුත් රූප කොටසුත් රූපස්කන්ධයයි. වේදනා නම් අප ලබන වින්දනයන් ය. සොම්නස ඇතිවන වේදනා මෙන් ම දොම්නස ඇතිවන වේදනා ද අපට ඇති වේ. ඇතැම් විට සොම්නසක්වත් දොම්නසක්වත් නැති මධ්‍යස්ථ වේදනා ඇති වේ. ඒ සියල්ල වේදනාස්කන්ධය වේ. සඤ්ඤා නම් හඳුනා ගැනීමයි අප දකින අසන දේ සිතෙහි සටහන් වන්නේ සඤ්ඤා චෛතසිකය නිසාය. ඒ සියලු සටහන් සංඥාස්කන්ධය වේ. සංස්කාරස්කන්ධය ලෙස දැක්වෙන්නේ කුසල අකුසල වශයෙන් රුස්කරන කර්මයන්ය. විඤ්ඤාණ නම් සිතයි. අපට ඇත්තේ එකම සිතක් නොව සිත් වැලකි. ඒ සියල්ල විඥානස්කන්ධයයි. මෙම ස්කන්ධ පහ කෙරෙහි ඇති ආශාව හෙවත් ඡන්දරාගය හැඳින් වෙන්නේ උපාදානය කියායි. එම උපාදානය සහිත වූ ස්කන්ධ පස පඤ්ච උපාදානස්කන්ධයයි. එම නිසා ජාති, ජරා, මරණාදිය නැති කෙරෙන ආර්ය මාර්ගයෙහි ගමන් කිරීමට අප සියලු දෙනම අධිෂ්ඨාන කරගෙන ජිවත් වෙමු.
Post a Comment