උතුම් බුද්ධ මාතාව වු මහාප්‍රජාපති ගෝතමී දේවිය

 

 උතුම් බුද්ධ මාතාව වු මහාප්‍රජාපති ගෝතමී දේවිය

  (මෙම පින්තූර අයිතිකරු සතුය)

 

මව් ගුණයේ උත්තරීතර ලක්ෂණ මෙන් ම නිවැරදි නායකත්වයේ හා කැපවීමේ ලක්ෂණද මනාව පිළිබිඹු කෙරෙන කාන්තා චරිත පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියගේ චරිතයට හිමි වනුයේ ඉතා උසස් ස්ථානයකි. අප සමස්ත කාන්තා පරපුරටත් පොදුවේ සියලු දෙනාටත් එතුමියගේ උතුම් චරිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝය. එබැවින් මහා ප්‍රජාපති ගෝතමී තෙරණියගේ චරිතය පිළිබඳ දැන ගැනීම ඉතා වැදගත්වේ.


දඹදිව දෙව්දහ නුවර අංජන රජුගේත් යසෝදරා දේවියගේත් දියණියක ලෙස මහා ප්‍රජාපතී ගෝතමිය උපත ලැබුවා ය. එතුමියගේ වැඩිමහලු සොහොයුරිය වූයේ මහාමායා දේවිය යි. මහාමායා දේවිය කලුරිය කිරීමෙන් පසු සුද්ධෝදන රජුගේ අගමෙහෙසිය වූයේ මහා ප්‍රජාපතී ගෝතමියයි. එතුමියගේ එකම පුත්‍රයා නන්ද කුමරුය. ඔහු කිරි මව්වරුන්ට පවරා දුන් එතුමිය සුළු මව ලෙස වැදු මව සේම අපිරිමිත දරු සෙනෙහසකින් සිදුහත් කුමරු හදා වඩා පෝෂණය කළාය.


සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධිත්වයට පත් වී පළමු වරට කිඹුල්වත් පුරයට වැඩම කළ දින රජ මාලිගයේ දී දෙසු දහම් අසා මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන් වූවා ය. දෙවන දිනයෙහි ස්වකීය පුත්‍රයා වූ නන්ද කුමරු සසුන්ගත විය. මහා ප්‍රජාපතී ගෝතමිය ද පැවිදි වීමට අදහස් කොට බුදුරදුන් වෙත ගොස් ඒ සඳහා අවසර ඉල්ලූ නමුත් එයට අනුමැතිය නොලැබුණි.


රෝහිණී නදියෙහි ජලය බෙදාගැන්මට නොහැකි ව ශාක්‍ය - කෝලිය දෙපිරිස යුද වැදීමට සුදානම් වූහ. එහි දී බුදුරජාණන් වහන්සේ එම කලහය සංසිඳවීමට කලහ විවාද සූත්‍රය " දේශනා කළහ. එය අසා මහත් සේ පැහැදීමට පත් කුමාරවරු පන්සියයක් දෙනා බුදුරදුන් සමීපයේ පැවිදි වුහ. පසු ව එම කුමාරවරුන්ගේ භාර්යාවෝ ද මහා ප්‍රජාපතී ගෝතමිය වෙත ගොස් තමන් ද පැවිදි වීමට කැමති බව පැවසූහ. එවිට මහා ප්‍රජාපතී ගෝතමිය එකී බිසෝවරුන් පන්සිය දෙනා ද සමග බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් වැඳ නමස්කාර කොට කාන්තාවන්ට පැවිද්ද ලබාදෙන මෙන් ආයාචනා කර සිටියහ. බුදුරජාණන් වහන්සේ තව ම කාන්තා පැවිද්ද සඳහා අවස්ථාව නොවන බව දැන ගෝතමියනි, බුද්ධ ශාසනයෙහි ස්ත්‍රීන්ට පැවිද්ද නො ඉල්විය යුතු'' යැයි වදාළහ. එසේ දෙවැනි තෙවැනි වාර වලද ආයාචනා කොටත් ඉල්ලීම ප්‍රතික්ෂේප විය. සිවුවැනි වතාවේ එතුමිය සිය ඉල්ලීම ඉදිරිපත් කිරිමට කැමති නොවූයේ බුද්ධ ගෞරවය හේතු කොටගෙන ය. මෙවර කෙසේ වුවත් පසු අවස්ථාවක දී නැවත ආයාචනයක් කොට පැවිද්ද ලබා ගැනීමේ අදහසින් යුක්ත ව එතුමිය ආපසු නික්ම ගියාය.


එකල්හි බුදු රජාණන් වහන්සේ වැඩ සිටියේ විසාලා මහනුවර ය. මහා ප්‍රජාපතී ගෝතමියගේ අදහස වූයේ කාන්තා විමුක්තිය සඳහා පැවිදි වීම අවශ්‍යම දෙයක් බවයි. එබැවින් එතුමිය උත්සාහය අත්නොහැර විසාලා මහනුවරට ගොස් නැවත ද බුදුරදුන් හමුවීමට තීරණය කළා ය. පසුව පන්සියයක් බිසෝවරුන් අමතා "දරුවෙනි. අපි තෙවරක් ම පැවිද්ද ඉල්ලා සිටි නමුත් එය නොලද්දෙමු. නැවත වරක් කසාවත් හැඳ පෙරව බුදුරදුන් හමුවීමට ගොස් පැවිද්ද ඉල්ලා සිටිමු. එසේ ගිය විට උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් පැවිද්ද දෙනු ඇතැයි" යි. ප්‍රකාශ කළාය. එම බිසෝවරු ද ඊට කැමැති වූහ.


මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රමුඛ බිසෝවරු හිසකෙස් කපා, කසාවත් හැඳ පෙරව. මැටි පාත්‍ර අතින් ගෙන පා ගමනින් විසාලා මහනුවර බලා නික්මුණහ. ඒ බව ඇසූ ශාක්‍ය - කෝලිය රජ දරුවෝ ඇප උපස්ථාන කිරිමටත් රිය සැපයීමටත් ඉදිරිපත් වූහ. එවිට ඔවුහු "අපි මේ රියවලින් ගියෙමු නම්. එය බුදුරජාණන් වහන්සේට අගෞරවයක් වන්නේ යැයි යි. ප්‍රකාශ කොට පා ගමනින්ම විසාලා මහනුවර කූටාගාර ශාලාව වෙත වැඩම කළහ. එහි දී මහා ප්‍රජාපතී ගෝතමිය කූටාගාර ශාලාවට ඇතුළු නො වී දොරටුව අසල නතර වී තම පිරිසට මෙසේ ප්‍රකාශ කළාය.


"මම කලින් තෙවතාවක් ම පැවිද්ද ඉල්ලා සිටියෙමි. එහෙත් පැවිද්ද නොලැබුණි. මෙවර ද පැවිද්ද ඉල්ලා පැමිණි නමුත් ඒ ගැන විශ්වාසයක් නැත. අප බොහෝ දුරකතර ගෙවා මෙහි පැමිණි බව දැන් ඉතා ප්‍රසිද්ධ ය. එසේ තිබිය දී මෙවර ද අපගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුව හොත් බුදුරජාණන් වහන්සේ සුළු මවට ද පැවිද්ද ලබා නොදුන්හයි. උන්වහන්සේටත්, මටත් අවමානයක් විය හැකිය. එබැවින් මෙහි සිට පැවිද්ද ඉල්ලා යවා අනුමැතිය ලැබුණොත් කූටාගාර ශාලාවට ගොස් බුදුරදුන් දකිමු. අනුමැතිය නොලැබුණ හොත් නැවත කිඹුල්වත් පුරය බලා යමු " එසේ කියා පණිවුඩය යැවීමට සුදුසු ක්‍රමයක් ගැන සිතමින් සිටියා ය.


එකල්හි ආනන්ද තෙරණුවෝ විහාරයෙන් පිටතට වැඩම කළහ. එවිට ඉදිමුණු පා ඇතිව, දහදියෙන් තෙත්ව ගිය සිරුරු ඇතිව පැමිණ සිටින මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පිරිස දැක මෙසේ ඇසූහ.


"මෑණියනි. එහි කිසියම් සතුරු උවදුරෙක් වී ද? මුහුණ පෑ දුකක් පීඩාවක් ඇත්ද? මෙතරම් දුර මගක් ගෙවා කුමක් නිසා මෙහි පැමිණියේද?"


එවිට මහා ප්‍රජාපතී ගෝතමිය "පුතණුවනි, අනඳ හිමියනි, අපට සිදු වූ විපතක් නැත. මම මෙයට පෙර තෙවතාවක් ම පැවිද්ද ඉල්ලා සිටි නමුත් නොලදිමි. එබැවින් මෙවර පැවිදි වෙස් ගෙන මෙහි පැමිණියෙමි. මෙවර ද එය ඉටු වේ දැයි සැක සහිත හෙයින් විහාරයට නොගොස් මෙහි ම රැඳි සිටින්නෙමි" යි කීවාය.


ආනන්ද තෙරණුවෝ මෑණියනි. එසේ නම් මෙහි ම මඳක් විඩා හැර ගනු මැනවි. මම ඔබතුමිය පැමිණ සිටින වග බුදුරජාණන් වහන්සේට දැනුම් දෙන්නෙමි. " බුදුරජාණන් වහන්සේ හමුවට ගිය ආනන්ද තෙරණුවෝ ස්වාමීනි, මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවෝ පැමිණ සිටිති. ඔවුන්ගේ අදහස පැවිද්ද ලබා ගැනීමයි. එබැවින් කාන්තා පැවිද්ද පිහිටුවා වදාරන්නේ නම් මැනවි" යි ආරාධනා කළහ.


එවිට බුදුරජාණන් වහන්සේ "ආනන්දය, ස්ත්‍රීන්ගේ පැවිද්ද ගැන උනන්දු නොවන්න. " යැයි වදාළ හ. දෙවැනි තෙවැනි වරට ද ඉල්ලීම ප්‍රතික් ෂේප විය. එවිට ආනන්ද තෙරණුවෝ " මා වෙනස් අයුරකින් මෙම ඉල්ලීම සිදු කරන්නේ නම් මැනවැ " යි සිතා මෙසේ ඇසූහ.


ස්වාමිනි, ස්ත්‍රීන්ට පැවිදි ව මාර්ග ඵල ලැබිය නොහැකිද? ' " ආනන්දය, වීර්යය වඩන්නේ නම් ස්ත්‍රීහු ද මාර්ගඵල ලබන්නාහුය.


"ස්වාමීනි, එසේ නම් කාන්තා පැවිද්ද අනුදැන නො වදාරන්නේ ඇයි? " දැයි ඇසූ ආනන්ද තෙරණුවෝ මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ උදාර ගුණය ද වර්ණනා කළහ.


එවිට බුදුරජාණන් වහන්සේ කාන්තා පැවිද්ද පිහිටුවීමට මෙම අයැදීම ම ප්‍රමාණවත් බව සිතා ආනන්ද තෙරණුවන් අමතා, ආනන්දයෙනි. මහා ප්‍රජාපතී ගෝතමිය පැවිදි වනු කැමැත්තී නම්, පෙර බුදුවරයන් වහන්සේලාගේ සමයෙහි ස්ත්‍රීන් මෙන් අෂ්ට ගරු ධර්ම පිළිගත යුතුය. එයම එතුමියගේ පැවිදි උපසම්පදාව වන්නේ යැයි ද වදාළහ.


ආනන්ද තෙරණුවන්ගේ දැනුම් දීම මත මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දිසාවට දොහොත් මුදුන් දී වැඳ, "ස්වාමීනි, ඔබ වහන්සේ යම් ගරු ධර්ම අටක් පනවා වදාළ සේක් ද මම එය හිස්මුදුනින්ම පිළිගනිමි." යැයි තෙවරක් ක්ම කීවා ය. එය ම එතුමියට පැවිද්ද හා උපසම්පදාව විය. සෙසු පන්සියයක් දෙනා ද මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය අනුව යමින් පැවිද්ද ලැබූහ. අනතුරුව මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය බුදුරජාණන් වහන්සේ වෙතින් කමටහන් ගෙන වීර්යය වඩා නොබෝ කලකින්ම රහත් භාවයට පත් වූවාය.


බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටි පසු අවස්ථාවක භික්ෂු භික්ෂුණින් මධ්‍යයේ දී බුද්ධ මාතාව වූ මහා ප්‍රජාපතී ගෝතමී භික්ෂුණිය චිරරාත්‍රඥ (දීර්ඝ කාලීන ශාසනික අත්දැකීම් ඇති) භික්ෂුණින් වහන්සේලා අතුරෙන් අග්‍රස්ථානයට පත් වන බව වදාළහ. එසේම භික්ෂුණී සංඝයාගේ ප්‍රධානත්වයට ද පත් කළහ. මෙයින් පසු යදරා දේවිය ආදීහු ද එතුමිය වෙක පැමිණ පැවිදි වූහ.


එක් කලෙක මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය දැඩි සේ ගිලන්ව මෙහෙණවරෙහි වැඩ සිටියා ය. බුදුරජාණන් වහන්සේ එතුමියගේ සුව දුක් බැලීමට එහි වැඩම කොට ධර්මය ද දේශනා කළහ. පසුව කලින් පැන වූ විනය නීතියක්ද වෙනස් කරමින් "මහණෙනි, මෙහෙණවරට ගොස් රෝගී වූ භික්ෂුණීන්ට අවවාද දීමට අනුදනිමි" යි වදාළේ උදාර මව් ගුණයට කරන ඉහළම සැලකීමක් වශයෙනි.


පසු කාලයක මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය උපතින් එකසිය විසි වසරක් වූ තම ආයුෂ පිළිබඳව ආවර්ජනා කොට ජිවිත කාලය අවසන් වී ඇති බව දැන ගත්තාය. පසුව සමවත් සුවයෙන් කාලය ගත කළ එතුමිය බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ ගාථා රාශියකින් උන් වහන්සේගේ ගුණ වර්ණනා කළාය.


"ස්වාමිනි මම ඔබ වහන්සේට දැක් වූ දරු සෙනෙහසට වඩා, ඔබ වහන්සේ ශ්‍රාවිකාවක් ලෙස මට දක් වූ දරු සෙනෙහස දහස් වාරයක් උතුම් ස. මම ඔබ වහන්සේ කිරි දී නළවා සැනසීමි. ඔබ වහන්සේ මා හට අමා කිරි දී සසර දුකින් මුදවා සනසා ලඝු


ස්වාමීනි, ඔබ වහන්සේ බුදු වන බව නොදැන පුකේ පුතේ යි, ඇමතීමි. රක් බඳුනකට ආහාර ගෙන අනා කවමින් මම ද එයින් අනුභව කෙළෙමි. සිරුර පිරිමදිමින් වැඩුවෙමි. අතපය ඒ මේ අත හරවමින් ඇඳුම් ඇන්දවීමි. අබරණ පැළඳවීමි, එයින් මා ගෙන් වරදක් වී නම් සමාවුව මැනවි.


පිරිනිවන් පෑමට සුදුසු කාලය පැමිණ ඇති බව දත් එතුමිය බුදුරජාණන් වහන්සේගෙන් ඒ සඳහා අවසර ලබා ගත්තා ය. එකල්හි අද බුද්ධ මාතාවෝ පිරිනිවන් පාති යි, ශ්‍රාවකයන් වහන්සේලා අතර ප්‍රසිද්ධ විය. එය ඇසූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ, සාරිපුත්ත, මොග්ගල්ලාන ආදී මහා ශ්‍රාවකයන් වහන්සේලා පිරිවර භික්ෂූන් වහන්සේලා ද සමග කූටාගාර ශාලාවට වැඩම කළහ.


එවිට බුදුරජාණන් වහන්සේ,


"මහණෙනි, මේ බුද්ධ මාතාවෝ සියලු උත්තමයන්ගේ ගෞරවයට හිමිකාරියක් ම වන්නාහ. එබැවින් සැම දෙනා පසුපසින් ගමන් කරමු යි වදාරා ශ්‍රාවකයන් පිරිවරා වෙහෙර දොරටුව දක්වා පසුපස ගමන් කළහ. මෙය බුදුරජාණන් වහන්සේගේ එක ම පසුපස ගමන් කිරීම විය. වෙහෙර දොරටුවේදීද ප්‍රජාපතී ගෝතමී තෙරණිය නැවත බුදුරදුන් කරා පැමිණ නමස්කාර කොට ස්වාමීනි, මේ වනාහි ඔබ වහන්සේගේ අවසාන දර්ශනය වන්නේ ය. මින් පසු ඔබ වහන්සේගේ දර්ශනයක් මට නොලැබෙන්නේය. පිරිනිවන් පෑමට මට අවසර දුන මැනවැ යි සිරිපතුල් වැන්දා ය. මෙහි දී බුදුරජාණන් වහන්සේ ධර්ම සංවේගය පළ කළහ.


ආනන්ද තෙරණුවෝ ලිච්ඡවී රජවරුන්ගේ ද සහාය ලබා ගෙන එතුමියගේ ආදාහන පුජෝත්සව උසස් අන්දමින් සිදු කරන,


සමස්ත කාන්තා පරපුරට ම ආලෝකයක් ගෙන දෙමින් භික්ෂුණී සංඝ සමාජය පිහිටු වීමට පුරෝගාමීව කටයුතු කළ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ එය මනා ලෙස ආරක්ෂා කොට පවත්වා ගෙන යෑමට සෑම අතින්ම කටයුතු කළහ. භික්ෂුණි ප්‍රාතිමෝක්ෂයෙහි එන විනය නීති වැඩි කොටසක් බුදුරජාණන් වහන්සේ විසින් පන්වන ලද්දේ ප්‍රජාපතී ගෝතමී තෙරණියගේ අනුදැනුම ඇතිවය. එතුමිය තමන් වෙත පැමිණි භික්ෂුණින් හට මැනවින් ධර්මය හා විනය ඉගැන්වූහ. මුළු මහත් කාන්තා ලෝකයට ම එතුමියගේ උදාර චරිතය මනා ආදර්ශයක් සපයයි.


ලොව පහළ වූ උතුම් ම සුළුමව ලෙස අපට මෙතුමිය හඳුනා ගත හැකි ය. බුදුරදුන්ගේ සුළු මව වුව ද එතුමිය කිසි විටෙක විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු නොවූවාය. එසේ වූයේ නම් කාන්තා පැවිද්ද ඉල්ලීම සඳහා මෙතරම් වෙහෙසක් දැරීමට සිදු නොවනු ඇත. අනතිමානී ගුණයෙන් අගතැන්පත් එභුමියගේ අදහස් බෙහෙවින් සාමකාමී විය. එසේ ම ආත්මාර්ථකාමීත්වයෙන් තොර වූ එතුමිය තමා ලද උතුම් සුවය අන් අය අතර ද ඛෙදා දීමට හැම විට ම උත්සුක වුවා ය. එතුමියගේ චරිතය තුළින් මව් ගුණයේ උදාරලක්ෂණ මෙන් ම නායකත්වයේ හා කැප වීමේ ලක්ෂණය ද නිරහංකාරකම ද මේ යැයි මනාව පෙන්නුම් කරයි. අපි බුද්ධ මාතාව වූ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය ගෞරවයෙන් සිහි කරමු වඳිමු පුදමු. එම චරිතය ආදර්ශයට ගනිමු.


ඔබ සැමට තෙරුවන් සරණයි

Post a Comment

أحدث أقدم
LightBlog

Top Post Ad

LightBlog