වණ්ණුපථ ජාතකය
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් භාවනාවෙහි වීර්යය අත්හළ භික්ෂු නමක් මුල්කොට මේ ජාතකය වදාළ සේක. සැවත් නුවර වැසි මිනිසෙක් දෙව්රමට ගොස් බුදුන්ගෙන් බණ අසා කම් සැපත්හි දෝෂයත් පැවිද්දෙහි ආනිශංසත් දැක මහණ උපසම්පදාව ලබා දහම් විනය ඉගෙන බුදුරජාණන් වහන්සේ වෙතින් තමන් කැමති කර්මස්ථානයක් ලබාගෙන විවේක වාසය පිණිස වනගත විය. වනවාසී මිනිසුන් තනා පුද කළ පන්සලක වස් විසූ උන්වහන්සේ පුරාතුන් මසක් වෙර වැඩූ නමුත් විදර්ශනා ආලෝකයක්වත් නොලැබිණ. උන්වහන්සේ මෙසේ සිතූහ. " බුදුන් වදාළ පුද්ගලයන් සතර දෙනාගෙන් මා පද පරමයකු විය හැකිය. මට මේ ජීවිතයෙහි මගපල ලැබීමෙක් නැතැයි සිතමි. වන වාසයෙන් පලක් නැත. බුදුරදුන් වෙත ගොස් බණ අසමින් බුදු රූසිරි බැතින් විසීම යහපතැ " යි ආපසු දෙව්රමටම ගියහ.
භික්ෂූහු "ඇවැත්නි, ඔබ ලොවුතුරා බුදුන් වෙතින් කමටහන් ගෙන මහණදම් පිරිමට වනගතව දැන් වනයෙන් පැමිණ සමූහ වාසයෙහි සිටින්නෙහිය. පැවිදිකිස සම්පූර්ණ ද? රහත් බව ලැබූයෙහිදැ " යි විමසූහ. ඇවැත්නි. මම අභව්‍ය පුද්ගලයෙක් වෙමි යි සිතා මහපලයක් නො ලබාම වීර්යය හැරදමා ආපි " කීය. එවිට භික්ෂූන් වහන්සේලා '' ඔබ අකාව්යයක්ම කරන ලදැයි කියා ඒ භික්ෂු නම කැඳවා ගෙන සර්වඥයන් වහන්සේ වෙත ගියහ. භාග්‍යවතුන් වහන්සේ " මහණෙනි, ඔබලා මේ භික්ෂු නම් අකමැත්තෙන් කැඳවා ගෙන ආයේ ඔක්නිසාදැ " යි විචාළ සේක භික්ෂූන් වහන්සේලා ඒ පුවත සැලකළහ.
එවිට භාග්‍යවතුන් වහන්සේ " ඇයි ? මහණ, ඔබ මෙබඳු සසුනක පැවිදිව අල්පේච්ඡය, සන්තුෂ්ටිය කුලයෙහි ගණයෙහි නො ඇළෙයි. විර්යවත්ය කියා ප්‍රසිද්ධ නොවී වීරය හැරදැමුවෙකි කියා ප්‍රසිද්ධ වූයෙහිය. ඔබ පෙර වීරියවත් නොවේද ? ඔබගේ තනි වීර්යයෙන් වැලි කාන්තාරයෙහි ගැල් පන්සියයක මිනිසුන් හා ගොනුන් පැන් ලබා සුවපත් වූවානු නොවෙත්දැයි වදාළහ. එම බස් පමණකින් ඒ භික්ෂුනම දිරිමත් විය පෙර ඒ පුවත වදාරන ලෙස භික්ෂුන් ආයාචනා කළෙන් වැසී ගිය කථාව භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
පෙර කසීරට බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුගේ කාලයෙහි බෝසතාණෝ ගැල්නායක කුලයක ඉපිද ගැල් පන්සියයකින් වෙළඳාම් කොට ඇවිදිති. බෝසතාණෝ වෙළදාව පිණිස යන කල්හි පයින් යා නොහැකි තරමින් ගිනියම් වන සියුම් වැලි ඇති වාලුකා කාන්තාරයකට පැමිණියෝය. මෙහි ගමන් කරන්නෝ සියලු මග උපකරණ ගැල්වල පටවාගෙන රාත්‍රි කාලයෙහි යා හැකි තරම් දුර ගොස් දහවල් ගැල් වළල්ලක් මෙන් සිටුවා මුදුනෙහි කොළ අතු මඬුවක් මෙන් සරසා මධ්‍යයෙහි ගොනුන් මිනිසුන් හිඳුවා වේලාසනින්ම කා බී විවේකයෙන් සිට සිහිල් වූ පසු ගමන් අරඹන්නාහ. මුහුදු ගමනක් හා සමාන ඒ ගමනෙහි ප්‍රධාන පුරුෂයා ගොඩ නියමුවා නම් වන්නේය. තරු සලකුණෙන් ගැල් පදවති.
බෝසතාණෝ ද ඒ ක්‍රමයෙන් කාන්තාර ගමනෙහි යෙදී දිනකින් ක්‍ෂේම භූමියට යා හැකිව තිබිය දී ඉදිරි ගැලෙහි හාන්සි පුටුවක වැතිර තරු සලකුණු අනුව මෙසේ මෙසේ ගැල් පදවන්නැයි නියම කරමින් යද්දීම නින්දට වැටුණාහ. ගොන්නු කරකැවී ආපසු ගමන් කොට පෙරදා සිටි තැනටම පැමිණියහ. ගැල්නායක අළුයම් පිබිද තරු බලා ගැල් තවත්වයි කෑ ගැසීය. පළමු සිටි තැන බව දත් මිනිස්සු දර පැන් අවසන් අපට මහ විනාශයකැ''යි දුකින් ගැල් තවතා මඩුව තනා ඒ යට සිටියහ.
බෝසතාණෝ " මා පසු බව වුව හොත් සියල්ලන්ට මහ විපත කැ " යි දන ඔබ මොබ ගොස් ඊතණ පදුරක් දැක කනින්ට පටන් ගත්හ. සැට වියතක් පමණ හාරා ගල හමු වුයෙන් සියල්ලෝ අධෛර්යයට පත්වුහ. බෝධි සත්වයෝ ළිඳට බැස පරික්ෂා කොට බැලූ කල්හි ගලයටින් දියපාර බස්නා හඬ ඇසිණි. "දරුවෙහි පසුබට වුවහොත් සියල්ලෝම වැනසෙති. වහා ළිඳට බැස කුළු ගෙඩියෙන් ගල කඩ වූ '' යි කියා තියම කළහ. ඔහුගේ අත්වැසියාද උත්සාහවත් ව ළිඳට බැස ගල කැඩීය. එකෙණෙහිම මහ දිය කඳක් පැතතැග්ගේය. සියල්ලෝම පැන් බී. පැන් නා දිය සැළි පුරවා ගෙන ළිඳ ළඟ කොඩියක් ඔසවා සුවසේ බලාපොරොත්තු තැනට ළඟා වූහ. රුචි පරිදි වෙළඳාමෙහි යෙදී සියරට ද පැමිණියාහ.
වෙළඳුන් තොපසුබට ව කාන්තාරයෙහි ළිං කැණ පැන් ලැබුවාක් මෙන් මේ සසුනෙහි යෙදී උත්සාහවත් වන නුවණැත්තෝ මගපල ලබන්නාහ '' යි කියා සර්වඥයන් වහන්සේ ධර්ම දේශනා කළ සේක. එයසා විර්යය හැර දැමූ භික්ෂූන් වහන්සේ රහත් වූහ.
එකල උත්සාහයෙන් ගල පළා පැන් ලබා දුන් අතවැසි පුරුෂයා මෙකල වීර්යය හළ භික්ෂූන් වහන්සේ ය. සෙසු පිරිස මෙකල බුදු පිරිසය. සාත්තු නායකයාණෝ තිලෝගුරු බුදුරජාණන් වහන්සේම යයි ද වදාළ සේක.
ඔබ සැමට තෙරුවන් සරණයි
إرسال تعليق