දුකට හේතුවන තණ්හාව පිළිබදව
දැනගෙන යහපත් ජිවිතයක් ගත කරන්න
මහණෙනි, නැවත ඉපදීම ඇති කරන, ඒ ඒ වස්තූන් හි සතුටින් ඇල්මෙන් බැඳෙන. ඒ ඒ භවයන්හි ඇලීම ඇති කරන කාම තණ්හා, භව තණ්හා. විභව තණ්හා වශයෙන් ක්‍රියාත්මක වන යම් තණ්හාවක් වේද, අන්න ඒ තණ්හාව තමයි දුක්ඛ සමුදයාර්ය සත්‍යය.
දුක්ඛ සමුදයාර්ය සත්‍යය පිළිබඳව කෙරෙන මෙම විවරණය අනුව දුක්ඛ සමුදය හෙවත් දුකට හේතුව තණ්හාවයි. මුළු ජීවිතය ම වෙලා ගත් ප්‍රබල ආශාවයි. කදින් පැළවෙන ගසක් කපා දැමුවත් එහි මුල්වලට හානියක් නැතිනම් ඒ ගස නැවත නැවතත් ලියලන්නාක් මෙන් තෘෂ්ණාව තිබෙන තුරු, තෘෂ්ණාව සම්පූර්ණයෙන් ඉවත් නොවන තුරු නැවත නැවතත් දුක හටගන්නා බව ධම්මපද ගාථාවක සඳහන් වේ.
පුද්ගලයා තුළ තණ්හාව ඇති වන්නේ එකම ආකාරයෙන් නොවේ. විවිධ ස්වරූපයෙනි. කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා වශයෙන් තණ්හාවේ ප්‍රධාන ප්‍රභේද තුනක් දක්වා ඇත්තේ එබැවිනි.
කාම තණ්හා නම් කම් සැප විඳීමට ඇති ආශාවයි. අපේ ඇස ගැටෙන, ඇසට හමු වන රූප ඇසුරින් තෘප්තියක් සතුටක් ලැබීමට අපේ සිත කැමති ය. එසේ ම කනට ඇසෙන ශබ්ද ඇසුරින් මිහිරි වින්දනයක් ලැබීමට අපේ සිත කැමතිය. නාසයට දැනෙන සුවඳ දිවට දැනෙන රස කයට ලැබෙන සුව පහසු ස්පර්ශ ආදියෙන් ද සොම්නසක්ම සතුටක් ම තෘප්තියක්ම ලැබීමටයි අපේ සිත කැමති වන්නේ. ඇස පිනවීමේ ආශාව, කන පිනවීමේ ආශාව, නාසය පිනවීමේ ආශාව, දිව පිනවීමේ ආශාව, කය පිත වීමේ ආශාව යනුවෙන් දැක්වෙන්නේ ද එයයි.
අපේ සිත ඇලෙන්නේ රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණුවල ය. ඒ රූප ශබ්ද ආදියට කියන්නේ කාම වස්තු කියායි. ඇසට ප්‍රිය රූපයක් හමු වූ විට එයින් අපට ආස්වාදයක් ලැබේ. ඒ නිසා අපි එම රූපයට ආශා කරමු. නැවත නැවතත් එම රූපය ම හෝ එබඳු වෙනත් රූප හෝ දැකීමට ඒවායින් ආස්වාදයක් ලැබීමට ආශා කරමු. එයට කියන්නේ රූප තණ්හා කියායි.
කනට ඇසෙන ශබ්ද නිසා දැනෙන මිහිර නැවතත් ලැබීමට ඇති ආශාව සද්ද තණ්හාවයි. නාසයට සුවඳත් දිවට රසත් කයට සුව පහසු ස්පර්ශයත් ලැබෙන විට දනෙන ආස්වාදය නිසා යළි යළිත් ඒවා ලබා ගැනීමට ඇතිවන ආශා පිළිවෙළින් ගන්ධ තණ්හා රස තණ්හා සහ පොට්ඨබ්බ තණ්හා වශයෙන් හැඳින් වේ. ඇස කන ආදී ඉන්ද්‍රියයන්ට ගොදුරු නොවන මනසට ගොදුරු වන අරමුණු හැඳින්වෙන්නේ ධම්ම කියායි. අප කලින් දුටු දෙයක් සිතින් බලන විට එය ධම්ම අරමුණකි. කලින් ඇසූ දෙයක් යළි මෙනෙහි කරන විට ඒ ඇසූ දේ සිතට එන්නේ ධම්මාරම්මණයක් වශයෙනි. යම් යම් මතවාද, අදහස්, සංකල්ප ආදිය ද ධම්ම' යන්නට ඇතුළත් වේ. ඒවාට ආශා කිරීම ධම්ම තණ්හාවයි.
මෙහි සඳහන් සියලු ම අරමුණුවලින් ලැබෙන ආස්වාදය නැවත නැවතත් ලබා ගැනීමට ඒවායින් ඉඳුරන් පිනවීමට ඇති ආශාවයි. කාම තණ්හා නමින් හැඳින්වෙන්නේ කාම වස්තූන්ගෙන් ලබන මිහිර හෙවත් ආස්වාදයි මේ ජිවිත කාලය තුළ පමණක් නොව නැවත නැවතත් ඉපදෙමින් ඒ උපදින භවයක් පාසා ලැබීමට ඇතැම් අයට බලවත් ආශාවක් ඇති වේ. මේ ජිවිතය අවසන් වීමෙන් එම රස වින්දනය ද අවසන් වනු දැකීමට ඔවුහු අකැමැති වෙති. එසේ නැවත නැවතත් භවයට පිවිසෙමින් සදා කාලිකව ඉහත කී කම්සුව විඳීමට ඇති ආශාව හැඳින්වෙන්නේ භව තණ්හා කියායි.
ඇතැම්හු පුනර්භවයක් හෙවත් නැවත ඉපදීමක් ඇතැයි නොපිළිගනිති. ඔවුන්ගේ විශ්වාසය වන්නේ මේ පවත්නා ජීවිතය මරණයෙන් කෙළවර වන අතර නැවත උපතක් සාංසාරික ජීවිතයක් නැති බවයි. ඒ නිසා මේ ජිවිත කාලය තුළ කාම වස්තුන්ගෙන් හැකිතාක් ආස්වාදය ලැබීමටත් හැකිතාක් ඉඳුරන් පිනවීමටත් ඔවුහු ආශා කරති. මරණයෙන් මතු යළි භවයක් පිළිබඳව බලාපොරොත්තු නොවී මේ ජීවිත කාලය තුළ වඩ වඩා ඉඳුරන් පිනවීමට ඇති එම ආශාව විභව තණ්හා නමින් හැඳින්වේ. උච්ඡේද දෘෂ්ටියෙන් යුක්ත වූ තණ්හාව ලෙස හැඳින්වෙන්නේ මෙම විභව තණ්හාවම ය. උච්ඡේද දෘෂ්ටිය නම් නැවත උපතක් නැත. මේ ජීවිතය මරණයෙන් අවසන් වේ යන පිළිගැනීමයි.
කාම, භව, විභව යන තෙවැදෑරුම් තණ්හාව ම ඇති වන්නේ රූප, ශබ්ද ආදී කාම වස්තූන්ගෙන් ලැබෙන ආස්වාදය පදනම් කරගෙන ය. නැවත ඉපදීම ගැන හෝ නොඉපදීම ගැන හෝ විශේෂයෙන් නොසිතා රූප ඇසුරෙන් ලැබෙන ආස්වාදයට ආශා කිරීම රූපය පිළිබඳ කාම තණ්හාවයි. එම ආශ්වාදය නැවත ඉපදෙමින් භවයක් පාසා ලැබීමට ඇති ආශාව රූපය පිළිබඳ භව තණ්හාවයි. යළි ඉපදීමක් නැත. එබැවින් මැරෙන තෙක් සුන්දර රූප බලමින් ඇස පිනවිය යුතු යැයි ඇති කරගන්නා ආශාව රූපය පිළිබඳ විභව තණ්හාවයි. අනෙකුත් කාම වස්තුන් ඇසුරු කරගෙන ද මෙම තෙවැදෑරුම් තණ්හාව ඇති වන අයුරු මේ අනුව තේරුම්ගත හැකිය.
කාම වස්තූන්ගෙන් ලැබෙන ආස්වාදය නිසා ඒවා වැඩියෙන් රැස්කර තමා සතු කර ගැනීමටත් රැස්කරගත් දේ රැක ගැනීමටත් පෙළඹීම අපේ සිතේ ස්වභාවයයි. එසේ රැස් කිරීමට හා රැක ගැනීමට බාධා පැමිණියහොත් ඊට විරුද්ධ ව ක්‍රියා කිරීමට යෑමෙන් විවිධ දුක් කරදර වලට භාජන වන අතර පාප ක්‍රියාවන්ට ද පෙළඹේ. පව් කරන්නාට උරුම වන්නේ දුක මිස සැප නොවේ. හොඳ දෙයක් පිනක් වුවද කරන්නේ වඩ වඩා කම්සැප විඳීමේ ආශාවෙන් නම් ඒ තැනැත්තාට ද සසරින් මිදීමක් නැත. හෙතෙම යළි යළිත් සසර දුකට භාජන වේ. එයින් පැහැදිලි වන්නේ තණ්හාව නිසා අප දුකට භාජන වන ආකාරයයි.
තණ්හාව නිසා නැවත නැවත ඉපදීමේ සාංසාරික දුකට භාජන වීම පමණක් හෝ ආශාව හේතුවෙන් කරන පව්කම්වල දුක් විපාක පරලොව දී විඳීමට සිදුවීම පමණක් හෝ නොවේ. ලෝකයේ විවිධ පෞද්ගලික හා සමාජයීය ගැටලු වලට තෘෂ්ණාව හේතු වේ. ධනයට, බලයට, නිලයට ඇති ආශාව නිසා පුද්ගලයෝ විවිධ දුක්වලට භාජන වෙති. අසීමිත ආශා ඇත්තෝ හොඳින් හෝ නරකින් දුක් කරදර හිරිහැර හෝ තම ආශා සපුරා ගැනීමට ක්‍රියා කරති. එයින් සමාජයේ විවිධ ගැටලු නිර්මාණය
වේ. ඇතැම් අය බහුභාණ්ඩික ජීවිත වලට හුරු වීමෙන් සරල චාම් දිවි පෙවෙත නැති කරගන්නේ ද අසීමිත ආශාව නිසාය. බහුභාණ්ඩික බව නම් අනවශ්‍ය ලෙස බොහෝ භාණ්ඩ රැස්කර තබා ගන්නා බවයි. තම ආර්ථික ශක්තිය ගැන ද නොසලකා ඇතැම් විට අනුන්ට ණය වී, අත්‍යවශ්‍ය ම නො වූ භාණ්ඩ රැස් කිරීමට යෑමෙන් තම පවුල් පරිසරය තුළ ද ගැටලු හදා ගන්නෝ වෙති. මූලික අවශ්‍යතාවත් සම්පූර්ණ කර ගැනීමට ආර්ථික හැකියාවක් නැති ඇතැම් අය සුරාවේ, සුදු වේ, දුම්වැටියේ වහලුන් බවට පත් වෙති. කිසිදු වටිනාකමක් නැතිව කැපී පෙනීමේ ආශාව වැනි දුබල සිතිවිලි වල වහලුන් බවට පත්වන්නෝ කොපමණ සිටිත් ද? අත්‍යවශ්‍ය ම නොවූ ඇඳුම් මෝස්තර, ආභරණ, විදුලි උපකරණ ඇතුළු සුඛෝපභෝගි භාණ්ඩ සඳහාම අසීමිත ලෙස මුදල් වැය කරන්නෝ කොපමණ සිටිත්ද?
යහපත් ආර්ථික පදනමක් ඇති අය ද ආශාවේ වහලුන් බවට පත් වූ විට අනුත් ගේ දුක නො හඳුනන, අසරණයකුට වත් පිහිටක් නො වන ඇතැම් විට රටට ගමට තබා තම පවුලේ සාමාජිකයන්ට ද යුතුකම් ඉටු නො කරන ආත්මාර්ථකාමී ආකාරුණිකයෝ වෙති. ඔවුන් නිසා විවිධ ආර්ථික, සමාජයීය ප්‍රශ්න ඇති වේ.
කාම තණ්හාව හෙවත් කම් සැප විඳීමේ අසීමිත ආශාව හේතුවෙන් සදාචාර විරෝධී ලෙස කටයුතු කිරීමත් අධ්‍යාපනික කටයුතු සඳහා උපකාර කර ගත හැකි විද්‍යුත් මාධ්‍ය හා පරිගණක වැනි මෙවලම් අනිසි ආකාරයට ප්‍රයෝජනයට ගැනීමත් මත්ද්‍රව්‍ය වැනි විවිධ ශාරීරික උත්තේජක භාවිතයට ඇබ්බැහි වීමත් නිසා ධනයෙන් පමණක් නොව ගුණ නුවණින් ද පිරිහුණු සමාජයක් බිහි වේ. ආශාව පාලනය කර ගත් තරමට අසහනයෙන් තොර, තෘප්තිමත්, ශිලාචාර සමාජයක් ගොඩ නගා ගත හැකි වේ. ආශාවලට වහල් වීමේ අහිත කර ප්‍රතිඵල තේරුම් ගෙන ආශාව පාලනය කර ගැනීමටත් සරල චාම් ජීවිත ගොඩනඟා ගැනීමටත් බුද්ධිමත් ලෙස ක්‍රියා කිරිම ගුණ නැණ බෙලෙන් යුතු දරුවන්ගේ ලක්ෂණය වේ. එමඟින් ලබන ආධ්‍යාත්මික පුහුණුව දුකට හේතුව වූ තණ්හාව නැති කර සසර දුකින් එතෙර වීමටත් උපකාරී වේ.
.
ඔබ සැමට තෙරුවන් සරණයි
Post a Comment