පෞරෂය පිළිබදව බෞද්ධ හා මනෝ විද්‍යාත්මක හැදින්වීමක්

 පෞරෂය පිළිබදව  බෞද්ධ හා මනෝ

 විද්‍යාත්මක හැදින්වීමක්






පුද්ගලයෙකු තුළ ඔහුට ආවේණිකව දිගු කලක් පවතින ලක්ෂණ හා නැඹුරුතා රාශියක් ඇති බව සාමාන්‍ය පිළිගැනීමයි. පුද්ගලයකුගේ හැසිරීම් රටාවේ යම ඒකාකාරී සංගත බවක් (Consistence) ඇති බව පිළිගන්නා අතර එවැන්නක් අපි අපේක්‍ෂා ද කරමු පුද්ගලයන්ට විවිධ ඇගැයුම් ලබා දෙන්නේ මේ පිළිගැනීම පදනම් කරගෙනය. එක් පුද්ගලයෙක් වෙනත් පුද්ගලයන්ගෙන් වෙන්කර හැදිනගත හැකි ඔහුට ආවේණික හා සංගත ලක්ෂණ සමස්තය " පෞරුෂය " යැ'යි මනෝවිද්‍යාවේ දී හැඳින් වේ.


බෞද්ධ ග්‍රන්ථ මූලාශ්‍ර වල දී මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ විග්‍රහයන්හි ඒ ඒ පුද්ගලයා සතු අනන්‍ය ස්වභාවයක් ඇති බව පිළිගෙන තිබේ. 'චිත්ත', 'අත්ත ' හා 'අත්තභාව" යන වචන ඒ ඒ පුද්ගලයා තුළ පවතින පුද්ගලත්වය අදහස් කිරීම සඳහා යෙදී ඇත. ස්ථිරසාර පුද්ගලත්වයක් නොපිළිගත්ත ද සාපේක්ෂව දිගු කලක් පුද්ගලයෙකු තුළ පවතින ලක්ෂණ සමූහය මේ වචනවලින් අදහස් වී ඇත. පුද්ගල පෞරුෂය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් පුළුල් හා සම්පුර්ණව ඉදිරිපත් වන්නේ පඤ්චස්කන්ධ විග්‍රහය තුළ ය.


 පෞරුෂය පිළිබඳ නිර්වචන


නුතන මනෝවිද්‍යා අධ්‍යනයන්හි පෞරුෂය යන්න ප්‍රධාන මාතෘකාවක් ලෙස සාකච්ඡා වන අතර ඒ පිළිබඳ නිර්වචන රාශියක් ද ඉදිරිපත් ව තිබේ. නූතන මනෝවිද්‍යා ඉතිහාසය තුළ ඉදිරිපත් ව ඇති එම නිර්වචන ප්‍රධාන වර්ග තුනකට බෙදා දැක්විය හැකිය.


1. මුහුණත පදනම් කරගත් පෞරුෂ නිචන

(Mask Definitions of Personality)

 2. පදාර්ථමය සාරයක් ගම්‍ය කරන පෞරුෂ නිර්වචන

 (Essense Definitions of Personality)

3. සමස්තය ආවරණමය පෞරුෂ නිර්වචන

(Holistic Definitions of Personality)


මුහුණත පදනම් කරගත් පෞරුෂ නිර්වචනයන්හි දි සිදු වන්නේ පුද්ගලයා බැහැරට ප්‍රකට වන ආකාරය අනුව පෞරුෂය නිර්වචනය කිරීමයි. මුලින් ම පෞරුෂය ගැන නිර්වචන ඉදිරිපත් වුණේ බාහිර කායික ස්වරූපය අනුව ය. එසේම බැහැරට පෙනෙන පුද්ගලයාගේ කායික හා වාචසික හැසිරීමට ප්‍රමුඛත්වය ලබා දෙමින් කරන විග්‍රහයන් මේ ගණයෙහි ලා ගැනේ. චර්යාවාදි මනෝ විද්‍යාන ගුරුකුලය බාහිර චර්යාව පෞරුෂය නිර්වචනය කිරීමට පාදක කර ගැනීම මෙයට ඇතුළත් ය.


පුද්ගලයකුගේ ගති ලක්‍ෂණ හා චර්යාව තීරණය කරන අභ්‍යන්තර සුවිශේෂ පදාර්ථයක් හෝ පදාර්ථයන් පදනම් කරගෙන පෞරුෂය විග්‍රහ කිරීම දෙවන ගණයේ පෞරුෂය නිර්වචන වල දී සිදුවේ. පොරුෂයේ විවිධ ස්වභාවයන් තීරණය වන්නේ මෙම අභ්‍යන්තර සුවිශේෂ පදාර්ථයේ බල සෑමෙන් බව මෙහි දි පිළිගැනේ. සිග්මන් ප්‍රොයිඩ් නම් මනෝවිද්‍යාඥයා Libido යන පදාර්ථය මුල් කරගෙන පෞරුෂයේ ස්වභාවයන් විග්‍රහ කරයි. විවිධ ආගමික සම්ප්‍රදායන් විසින් ද මිනිසාගේ ස්වභාවය සකස් කරන එවැනි පදාර්ථයන් ගැන අදහස් පිළිගෙන තිබේ. චින සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව ද වී (Qi) නම් මූල ධාතුවක් පුද්ගල ස්වභාවය තීරණය කිරීමට හේතු වන බව පිළිගැනේ.


සමස්තය ආවරණමය නිර්වචන වලදී පුද්ගලයා සතු අභ්‍යන්තර හා බාහිර චර්යාමය සියලු ලක්ෂණ අතීත. වර්තමාන හා අනාගත යන කාල තුන පිළිබඳව සැලකිල්ලට ගෙන ඒ සියල්ල එකතුකොට පෞරුෂය විග්‍රහ කිරීම සිදු වේ. නූතන මනෝ විද්‍යාවේ මානවවාදී හා සාත් දෘෂ්ටිකවාදී ගුරු කුල වල පෞරුෂය නිර්වචනය කරන්නේ මේ අයුරිනි. හැඳිනගත හැකි ලක්ෂණ සියල්ල තුළින් ගම්‍ය කරගත හැකි සෑම පුද්ගලයකු ම සතුව ඇති අනන්‍ය වූ සුවිශේෂත්වය ඉස්මතු කර ගැනීමට මෙහි දී උත්සාහ කරේ. උදාහරණයක් ලෙස මෝටන් ප්‍රින්ස් නම් මනෝවිද්‍යාඥයාගේ පෞරුෂය පිළිබඳ නිර්වචනය දැක්විය හැක. " පොරුෂය යනු පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක සහජ ගති ලක්ෂණත්, ආවේණික ප්‍රවණතා, අභිරුචි වලත් සහ ඔහු විසින් සකස් කොටගත් ප්‍රවණතාවලත් සමස්ත එකතුවයි ''


පංචස්කන්ධ විග්‍රහය මුල්කරගත් පෞරුෂය පිළිබඳ බෞද්ධ විවරණය පුද්ගලයා බාහිර ව ප්‍රකට වන ස්වරූපය සැලකිල්ලට ගෙන තිබුණද එයට සීමා වන්නේ නැත. එසේ ම පුද්ගල පෞරුෂය තුළ එයට ආවේණික ස්වරූපය තීරණය කරන යම් විශේෂ වූ සාරයක් හෝ පදාර්ථයක් ගැන අදහසක් බෞද්ධ විග්‍රහය තුළ ඉදිරිපත් වන්නේද නැත. පුද්ගලයාගේ අභ්‍යන්තර මානසික තත්ත්වයන් වෙත වැඩි අවධානය යොමු කරමින් බාහිර භෞතික හා චර්යාමය තත්ත්වයන් ද සැලකිල්ලට ගෙන ඉදිරිපත් වන පුද්ගල පෞරුෂය පිළිබඳ බෞද්ධ අදහස වඩා සමීප වන්නේ සමස්ත ආවරණමය නිර්වචන ගණයට ය.


නූතන මනෝවිද්‍යාවේ පෞරුෂය පිළිබඳ කරන ලද අධ්‍යයනයන් යොමු වී ඇති ප්‍රධාන අංශ දෙකක් ඇත.



01. විවිධ පුද්ගලයන්ගේ ස්වභාවයන් විග්‍රහ කළ හැකි පොදු න්‍යායන් හෝ පොදු පෞරුෂ ලක්ෂණයන් සොයා බැලීම (Nomothetic Psychology)


02. ඒ ඒ පුද්ගලයාට අනන්‍ය වූ සුවිශේෂ පෞරුෂ ලක්ෂණයන් සොයා බැලීම (Idiographne Psychology)


බුදු දහමේ පඤ්චස්කන්ධ විග්‍රහය තුළ 

1. රූප ස්කන්ධය   
2. වේදනා ස්කන්ධය   
3. සංඥා ස්කන්ධය
4. සංඛාර ස්කන්ධය   
5. විඤ්ඤාණ ස්කන්ධය යනුවෙන්  ස්කන්ධ පහක් දක්නට ලැබේ මේවා සියලු පුද්ගලයන් තුළ දැකිය හැකි පොදු පෞරුෂ පැතිකඩයන්ය. එම පොරුෂ පැතිකඩවල් හැම පුද්ගලයකුටම පොදු වුව ද ඒ තුළ අන්තර්ගත ලක්ෂණයන් ඒ ඒ පුද්ගලයාට ආවේණිකය. විශේෂයෙන් ස්කන්ධ පහ අතරින් සඤ්ඤා හා සංඛාර යන ස්කන්ධ දෙක ස්කන්ධ වශයෙන් සෑම පුද්ගලයකුටම පොදු වුවද ඒ ඒ පුද්ගලයා සතු සඤ්ඤා යටතේ ගැනෙන විවිධ මතක සටහන් හැඳින ගැනීම් සහ සංඛාර යටතේ ගැනෙන විවිධ ප්‍රවණතා, නැඹුරුතා, හුරු පුරුදු ඒ ඒ පුද්ගලයාට ආවේණික ඒවාය. පෞරුෂය පිළිබඳ බෞද්ධ විග්‍රහයේ විශේෂත්වය වන්නේ ඉහත දැක්වූ ප්‍රධාන අංශ දෙක ම ඒ තුළ ආවරණය වී තිබීමයි.


පුද්ගලයෙකුගේ අනන්‍ය ස්වභාවය නිර්මාණය කරන ආවේණික අභ්‍යන්තර ගති ලක්ෂණයන් පුද්ගලයකු සතු ව ඇති බව බුදු දහමේ පිළිගැනුණත් එම ලක්ෂණයන් පෞරුෂයක් තුළ ස්ථිර ව, සදාකාලික ව නො වෙතස් ව පවතින බව පිළිගැනෙන්නේ නැත. එම ලක්ෂණයන් විවිධ පරිසර තත්ත්වයන්, විවිධ අත්දැකීම් හා විශේෂ පුහුණු කිරීම් යන සාධක මත වෙනස් විය හැකි හෝ වෙනස් කළ හැකි බව බෞද්ධ විග්‍රහය තුළ අනාවරණය වේ. පෞරුෂය පිළිබඳ නවතම අධ්‍යනයන්හි ද පෞරුෂයේ ගතික ස්වභාවය අවධාරණය කර ඇත. උදාහරණයක් ලෙස වඩාත් ම පිළිගැනීමට ලක්ව ඇති ගෝඩන් ඕල්පට්ගේ පෞරුෂය පිළිබඳ නිර්වචනය දැක්විය හැකි ය.


'' තමාට ම සුවිශේෂී වූ ආකාරයට පුද්ගල චින්තනය හා චර්යාව පරිසරයට අනුව සමායෝගි වීම තීරණය කරන ඔහු තුළ වූ මනෝ භෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානය පෞරුෂයයි


බෞද්ධ විග්‍රහයට අනුව පුද්ගල පෞරුෂය යනු විවිධ සාධක මත පදනම් ව අඛණ්ඩ ව ගලායන ප්‍රවාහයකි. පුද්ගලයා තුළ ' ආත්මය " වැනි සාර පදාර්ථයක් නොමැත. එහෙත් පුද්ගල අනන්‍යතාව එමගින් ප්‍රතික්ෂේප වී නැත. ඒ ඒ පුද්ගල ප්‍රවාහ තුළ එකිනෙකට වෙන්කොට හැඳිනගත හැකි ලක්ෂණ හා ප්‍රවණතා ඇති බව පිළිගැනේ. සාපේක්ෂ ව එම ලක්ෂණ දීර්ඝ කාලීනව පුද්ගලයෙකු තුළ පැවතිය හැකිය. එහෙත් ඒවා වෙනස් වීමට හෝ වෙනස් කිරීමට විවෘතය. බුදු දහමේ මූලික පරමාර්ථය වන්නේ ද ඒ ඒ පුද්ගල ප්‍රවාහයක් තුළ ගොඩ නැගී ඇති අයහපත් පෞරුෂ ලක්ෂණ හා ප්‍රවණතා ක්‍රමානුකූල හා අනුපූර්ව පුහුණුවක් මගින් වෙනස් කොට යහපත් පෞරුෂ ලක්ෂණ වර්ධනය කොට පූර්ණ පෞරුෂ පරිවර්තනයක් සිදු කිරීමයි.


මුලාශ්‍ර සුත්‍රපිටකය හා බෞද්ධ මනොවිද්‍යා ග්‍රන්ථ


පින්තුරය අන්තර්ජාලයෙන් ලබා ගත්තකි


 ඔබ සැමට තෙරුවන් සරණයි

Post a Comment

Previous Post Next Post
LightBlog

Top Post Ad

LightBlog