සිදුහත් කුමරු කුඩා කළ රජසිරි විදිමින්
සතුටින් ජිවත් විය
(මෙම පින්තූර අයිතිකරු සතුය)
එවිට අසිත තාපසතුමා “රජතුමනි ඔබේ මැදුරේ පුත් කුමරෙකු උපත් බව දැන ගන්න ලැබුණි. අපිත් ඒ කුමරුන් දකින්න කැමැත්තෙමු ' යි කීම රජතුමා කුමරු සරසවා ගෙන්වා ගෙන තවුසාණන්ට වන්දවන්නට එතුමා වෙත ලං කළේය. එවිට බෝසත් කුමරුගේ සිරිපතුල එසවී තවුසාණන්ගේ ජටාව මත පිහිටියේ ය. බෝසත් කෙනෙකු බුදුවන ආත්ම භාවයේදී එතුමාගෙන් වැඳුම් ගන්නට සමතෙක් ලොව නැති බව තාපසතුමාට සිහි විය. වහාම අස්නෙන් නැගී සිටි තාපස තුමා බෝසත් කුමරුට නමස්කාර කළේය. මේ අපුරු සිදු වීම දුටු සුදොවුන් රජතුමා මහත් පුදුමයටත් සතුටටත් පත් විය. මහත් ආදරයෙන් පුත් කුමරුගේ සිරිපතුල් තම නළල මත තබාගත් පිය රතුමා ද පුතුට වැන්දේය. මෙය පිය රජතුමාගේ පළමු වැඳීම යි.
අසිත තාපසතුමාට කල්ප ගණනක් අනාගතය බලන්නට හැකි නුවණක් තිබිණි. මේ පින්වත් කුමරු ඒකාන්තයෙන් බුදුවන බව දුටු එතුමාට සිනහ පහළ විය. තමන්ට එතෙක් ජීවත් වන්නට නොහැකි බවත් ඒ නිසා මේ භවයේ දී බුදුන් දැක නිවන් දකින්නට නොලැබෙන බවත් දැක එතුමාට ඇඩිණ. සුදොවුන් රජතුමා තාපසතුමා හඬනු දැක "ස්වාමීනි, මගේ පුතුට කුමක් හෝ විපතක් දැ" යි ඇසීය. එවිට තාපසතුමා සිනාසුණ කාරණයත් හැඬු කාරණයත් පැහැදිලි කොට " කුමරුන්ට විපතක් නැත. මොහු ඒකාන්තයෙන්ම බුදු වන්නේ යැ " යි කියා රජතුමා සැනසී ය.
සිදුහත් කුමරුට නම් තැබීමේ උත්සවය
සිදුහත් කුමරු ඉපදී දින පහකින් නම් තබන දිනය උදා විය. සුදොවුන් රජතුමා සියලු සිරිත් විරිත් පිළිපදිමින් නම් තබන උළෙල පිළියෙල කරවීය. එතුමාගේ ඇරයුම පරිදි ලක්ෂණ ශාස්ත්‍රයේ පරතෙරට ගිය රාම, ධජ, ලක්ඛණ, මන්තී, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත යන බමුණු ඇදුරන් අට දෙනා ප්‍රධාන කොට ඇති එකසිය අටක් බමුණෝ රජ ගෙදරට කැදවිය. ඔවුන් මිහිරි බොජුනෙන් සතපවා මහත් සේ සත්කාර කොට මේ කුමරුවාගේ සිරුරු ලකුණු අනුව අනාගතය කෙසේ වන්නේදැයි රජතුමා විමසා සිටියේ ය. එයින් බමුණන් සත් දෙනෙක් ම කුමරුගේ සිරුරෙහි පිහිටි මහා පුරුෂ ලක්ෂණ දැක ඇගිලි දෙකක් ඔසවා මෙබඳු කෙනෙකු ගිහිගෙයි විසුවොත් සක්විති රජ වන්නේය. පැවිදි වුවහොත් බුදුවන්නේ යැයි පැවසූහ. එහෙත් කුමරුගේ ඌණ රෝමය දකුණට කරකැවී තිබෙනු දුටු සියල්ලන්ට ම බාල වූ කොණ්ඩඤ්ඤ බමුණා මේ කුමරුගේ ගිහිගෙයි විසිමක් නම් නැත. ඒකාන්තයෙන්ම සියලු කෙලෙස් නසා බුදුවන්නේ යැයි එක ඇඟිල්ලක් ඔසවා පැවසී ය. අනතුරුව ඔවුහු මේ කුමරු ලොවට මහත් අර්ථයක් සිදු කරන්නේ යැයි සලකා සිද්ධාර්ථ යන නම තැබූහ.
සුදොවුන් රස්තුමා මගේ පුතණුවන් කුමක් දැක කළ කිරි පැවිදි වන්නේ දැයි බමුණන්ගෙන් විමසීය. හෙල්ලෙකු, ලෙඩෙකු, ඔළමිනියක් සහ පැවිදි රුවක්. යන සතර පෙර නිමිති දැක මේ කුමරු පැවිදි වන්නේ යැයි බමුණෝ කීහ. පුත් කුමරුන් මුළු ලොවට ම බලසම්පන්න සක්විති රජවනු දැකීම රජතුමාගේ අදහස විය. ඒ නිසා කුමරුන්ට නගරය තුළ සතර පෙර නිමිති නොපෙනෙන සේ රැකවරණ සලස්සන්නට රජතුමා ඉටා ගත්තේය.
සිදුහත් බෝසතාණන් වහන්සේගේ මව වු මහාමායා දේවිය කලුරිය කිරීම
බෝසතාණන් උපන් මොහොතේ පටන් මහාමායා දේවිය ඉතා සුවෙන් කල් ගෙව්වා ය. බමුණන්ගේ අනාවැකි එතුමීය ඉතා සතුටට පත් කළේ ය. එහෙත් ඇගේ ආයුෂ ඉතිරි වී තිබුණේ දින හතකට පමණි. බෝසතුන් බිහි වී සත් වන දිනයෙහි කලුරිය කළ ඕතොමෝ තුසිත දෙව්ලොව උපන්නා ය. එහිදී එතුය දිව්‍ය පුත්‍රයෙක් ව මාකා දේව පුත්‍ර" නමින් සියලු දෙවිවරුන් අතර ගෞරවය ලැබුවා ය. එතැන් පටන් මහාමායා දේවියගේ නැගණිය වූ මහාප්‍රජාපතී ගෝතමීය රස්තුමාට අගමෙහෙසිය වූවා ය. ඕතොමෝ තමාගේ ම
පුතෙකු සේ බෝසත් කුමරු හදාවඩා ගත්තාය. ඒ සමඟම රජතුමා ක්ෂත්‍රිය වංශයට අයත් රූමත් ගුණවත් කිරිමව්වරුන් රැසක් බෝසත් කුමරුයේ රැකවරණයට සහ පෝෂණයට පත් කළේය.
වප් මගුල් උළෙලදා සිදු වු අසිරිමත් සිදුවීම
සිදුහත් බෝසත් කුමරු ඉතා ඉහළ රජ සිරි විඳිමින් වැඩෙයි. ක්‍රමයෙන් කුමරු ඉපදී පස් මසක් ගත විය. කිඹුල්වත් නුවර වාර්ෂික සී සෑමේ මංගල්‍යය උදාවිය. මුළු නගරය ම දෙව් විමනක් සේ සරසන ලදී. සුදු වතින් හා මල් මාලා වලින් සැරසුණු ජනයා වප්මඟුල නරඹන්නට වෙල් යාය වටා රොක් වූහ. රජතුමා පුත් කුමරුවන් ද රැගෙන මහ පෙරහරින් එහි සැපත් විය. උත්සව භූමිය තුළ හතර අතට විහිදුණු සෙවණ ඇති මහා දඹ රුකක් විය. ඒ සෙවණෙහි කුමරුවාට සයනයක් පනවා, උඩ වියන් බැඳ, වට තිර අද්දවා, කුමරුවන් එහි සතපවා, රැකවරණයට කිරි මව්වරු රඳවන ලදී. රජතුමා රාජාභරණයෙන් සැරසී මැති ඇමතිවරු ද පිරිවරා ගෙන සී සෑම ඇරඹීය. බෝසත් කුමරුගේ රැකවරණයට සිටි කිරි මව්වරු ද වටතිර වලින් පිටතට අවුත් වප් මගුල් සිරි නරඹන්න වූහ. මේ මොහොතේ අපුරු දෙයක් සිදු විය. බෝසත් කුමරුට තමන් ළඟ කිසිවෙකු නැති බව දැනිණ, හෙතෙම නැගිට්
සයනයේ පලක් බැඳ ගත්තේය. අනතුරුව ආනාපාන සති භාවනාව වැඩු කුමරු සසර පුරුද්දට ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වැඩහුන්නේය. මේ අතර රුක් සෙවණ නොසැලී ගස මුලට ම වැටී තිබුණේය. අවට ගස්වල සෙවණ ද එය පිරිවරාගෙන පැවතුණි. හදිසියේම කුමරු සිහි වී එහි පැමිණි කිරි මව්වරු මේ අසිරිමත් සිදුවීම දුටුවෝය. ඔවුහු දිවගොස් රජුට ඒ බව දැන්වුවෝය. වේගයෙන් එහි පැමිණි රජතුමාට මේ අසිරිය දැක ප්‍රීතිය නිම්හිම් නැතිව ගියේය. පුතණුවනි, මේ මාගේ දෙවැනි වැඳීම යැයි කියා එතුමා බෝසත් කුමරුට වැන්දේය. මෙලෙස සිදුහත් බෝසතාණන් වහන්සේගේ කුඩා අවධිය ගෙවුනේය
ඔබ සැමට තෙරුවන් සරණයි
Post a Comment