තණ්ඩුලනාළි ජාතකය

තණ්ඩුලනාළි ජාතකය





සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ සැවත දෙව්රම්හිදී ලාළුදායි තෙරුන් නිසා මේ ජාතකය වදාළ සේක. ඒ මෙසේයි. එක් කලෙක දබ්බමල්ල පුත්‍ර තෙරුන් වහන්සේ භික්ෂුන්ට සලාක බත් නියම කරති. සලාක බෙදන විට සමහර දිනක ලාළුදායි තෙරුන්ට හොඳ බතක් ලැබෙයි. සමහරදාක නිසරු බතක් ලැබෙයි. නපුරු බතක් ලැබුණ දිනවල ලාළුදායී තෙර "සලාක බෙදිය හැක්කේ දබ්බමල්ලපුත්‍රට පමණද ? අපට බැරිද"යි එතැන කලබල කරයි. එවිට සලාක බෙදීම උන්වහන්සේට ම පැවරිණ. එතැන් පටන් සලාක බෙදන නමුත් හොඳ නොහොඳ බවත්, ඒවා ලැබුණේ අසවල් අසවල් කොටසේ අයටය කියාවත් නොදනී. සලාක දී නැවැත් වූ තැනද නොදනී. බිම හෝ බිත්තියෙහි ඉරක් ඇඳ ඒ සලකුණෙන්ම දැන ගනී. දෙවන දින සලාක බෙදන විට භික්ෂූන් අඩු වැඩි බවක් නොසලකා රේඛා සලකුණ අනුවම බෙදයි. භික්ෂූන් වහන්සේලා අතර ලාළුදායි ස්ථවිරයිනි ඔබ වහන්සේ සලාක බෙදීමෙන් භික්ෂූන් වහන්සේලා මහත් සේ ලාභයෙන් පිරිහෙති කියා එහි මහත් වාද විවාද ඇති විය.


සලාක බෙදන තැන කෝලාහල අසා සර්වඥයන් වහන්සේ අනද තෙරුන්ගෙන් විමසා ආනන්ද, ලාළුදායි භික්ෂු නම අඥානකම නිසා පෙරත් අනුන්ට අලාභහානි කළේය" යි වදාරා අනද තෙරුන්ගේ ආරාධනයෙන් ඒ පුවත මෙසේ පැහැදිලි කළ සේක.


පෙර කසීපුර බරණැස බඹදත් රජු සමයෙහි මහ බෝසතාණෝ රජුගේ තක්සේරුකාර තනතුරු ලබා වස්තු තක්සේරු කොට සුදුසු අගය නියම කරන්නාහ. අගය කරුවා භාණ්ඩ හිමියන්ට භාණ්ඩ අනුව මිල ගෙවන්නාහ. ලෝභී රජ මෙසේ තක්සේරු කළහොත් මාගේ භාණ්ඩාගාරය වහා නිමවන්නේ යයි සිතා ලෝභී නුවණ නැති ගැමියකු එම තනතුරට පත් කළේය. ඔහු වස්තු අගය කිරීමේදී අගය අඩුකොට තමන් කැමති පරිදි කරයි. දිනක් අස්වෙළෙන්දෙක් අසුන් පන්සියයක් විකිණීම පිණිස එරටට ආයේය. ඒ අසා රජතෙම තක්සේරුකරු කැඳවා අසුන් අගය කරන ලෙස කීය. ඔහු සියලු අසුන් එකම හාල් නැළියක් වටිනා බව කීය. රජ හාල් නැළියක් දෙවා අසුන් අස්හලට යැවීය.


අස් වෙළෙන්දා පළමු තක්සේරු කරු වෙත ගොස් එපවත් කියා කුමක් කළයුතුදැයි විමසීය. එසේ නම් ඔහුට අල්ලසක් දී අපි ඔබ නිසා හාල් නැළියක වටිනාකම දනගනු කැමැත්තෙමු. රජු ඉදිරියේදී එය ප්‍රකාශ කළ හැකිදැයි විමසවු. එකඟ වුවහොත් රජු සමීපයට යන්න, මමත් එමී”යි බෝසතාණෝ කීහ. වෙළෙන්දා තක්සේරුකරු එකඟ කරවා ගෙන රජු වෙත ගියේය. බෝසතාණෝ ද සෙසු ඇමතියෝ ද එතැනට පැමිණියහ. 


එවේලෙහි අස් වෙළෙන්දා රජ්ජුරුවන් වැඳ ස්වාමිනි අසුන් පන්සීයක් එක් සාල් නැළියක් වටිනා බව දැන් දනිමි. එම සාල් නැළිය කොපමණ වටනේදැයි තක්සේරු කරුගෙන් විචාළ මැනවැ”යි අයැදීය. රජ එසේ විමසීය. ඒ මෝඩ මිනිසා " ස්වාමීනී අන්තඃපුරය සහිත බරණැස් රාජ්‍යය තරම් අගනේය '' යි කීය. ඒ අසා රැස් වූ පිරිස සිනාසී අත්පුඩි ගසා අපි පොළව හා රාජ්‍යය අමිල අනර්ඝ යයි අසා අත්තෙමු. මොහු එක සාල් නැළියක් අගනේ යයි කියයි. ඔබ වහන්සේගේ තක්සේරු කරුගේ හපන්කම කෙතරම්ද? ඔහු කොහි සිටියෙක්ද " යි ඇසූහ. රජ ලජ්ජාවට පත්ව පදවිය නැවත බෝසතුන්ටම දී ඒ මිනිසා නෙරපා දැමීය. බෝසතාණෝ දැහැමින් කල් යවා මිය පරලොව ගියහ.


එකල ඒ අඥාන පුරුෂයා මෙකල ලාඑදායී ස්ථවීරයන්ය. නැණවත් තක්සේරුභාර පුද්ගලයා නම් මෙකල ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ම යයි වදාළ සේක.



 ඔබ සැමට තෙරුවන් සරණයි

Post a Comment

Previous Post Next Post
LightBlog

Top Post Ad

LightBlog